Tuesday, May 29, 2012

වතුර තුවක්කුව - 02 (අවසාන කොටස)

මුල කොටස කියෙව්වේ නැත්තන් මෙතනින් කියවන්න 


කතාවේ ඉතිරි ටික... 

සඳුදා අපේ වෑන් එක මල්ලිලා ගන්න නැවැත්තුවට අපි බයිටාවත් අනෙක් අයියලා කවුරුත් අරලිය ගහ යට හිටියේ නෑ. අපි හිතුවා කට්ටිය අද නැතුව ඇති කියලා. ඔන්න ඉතින් මල්ලිලා නැග්ගට පස්සේ වෑන් එක හෙමින් හෙමින් ඉස්සරහට ගියා. (හෙමින් හෙමින් ගියා කිව්වේ කොලඹ ඉස්කෝල ලඟ තියෙන වාහන තදබදය නිසා)

 එකපාරට මම දැක්කා කවුරු හරි පාර අයිනේ නවත්තලා තිබ්බ බස් එකක් ඉස්සරහින් මගේ ඉන්න පැත්තට දුවගෙන එනවා. මම බය වෙච්ච පාර පොඩ්ඩක් විතර කෑ ගැහුවා. එතකොට තමයි සුමුදු නංගියි , පවිත්‍රියි කලබල වෙලා වටපිට බැලුවේ. එතකොට දැක්කා නාලාගිරි ඇතා කුලප්පු වෙලා වගේ බයිටාගේ කට්ටිය අපේ වෑන් එක පස්සේන් පන්නන් එනවා. නිකන් නෙමේ කුණු බිත්තර එක්ක. අපේ වාසනාවට වෑන් එකේ වේගේ වැඩිකරලා වෑන් අංකල් අපිව බේරගත්තා. (ඇත්තටම ට්‍ර‍ෆික් එක අඩුවුනා එක පාරට)
 අපේ වාසනාව!!! මම හිතන්නේ එයාලට අපේ වෑන් එක දැක්කේ පරක්කු වෙලා. ඒකයි කලින් අල්ලගත්තේ නැත්තේ. ඒත් එදා ඔහොම අපි බේරුනාට අනික් දවස් වල කොහොම බේරෙන්නද කියලා හිතාගන්න බැරි උනා. කොහොම හරි ඊලඟ දවස් තුනේම අපි බයිටාගේ කට්ටියව දැක්කේ නෑ.
 ඒත් සිකුරාදා තමයි බයිටා අපේ වෑන් එකෙන් පලිය ගත්තේ. සිකුරාදා මම ඉස්කෝලේ ගියේ නෑ. මම විභාගේට පාඩම් කරන්න ගෙදර හිටියා. එත් පවිත්‍රි යි සුමුදුයි නම් ගියා. (මේ දවසේ වෙච්ච දේ ගැන මම දැන ගත්තේ සුමුදු මට ගෙදරට ඇවිත් කිව්වට පස්සේ)
 එදා වෙලා තියෙන්නේ මේකයි. බයිටා අපේ වෑන් එකේ යන මල්ලිලට තර්ජනය කරලා අහලා තියෙනවා කවුද වතුර ගැහුවේ කියලා. එතන හිටපු එක ජුදාස් කෙනෙක් පවිත්‍රි තමයි වතුර ගැහුවේ හැබැයි අපි තුන්දෙනාම එකතු වෙලා ප්ලෑන් කරලා තමයි කලේ කියලා කිව්වාලු. ඉතින් සුපුරුදු විදිහට වෑන් එක නැවත්තුවාට පස්සේ , එකපාරම බයිටායි එයාගේ කට්ටියයි වෑන් එක දොර ඇරලා සුමුදුටයි පවිත්‍රිටයි තර්ජනය කරලා "අද නම් බේරෙන්න වෙන්නේ නෑ" කියලා පාට වතුර වගයකුයි බිත්තර ටිකකිනුයි සංග්‍රහ කරන්න හදද්දි අපේ වෑන් අංකල් එලියට එහෙම බැහැලා අයියලාට අවවාද කරලා පුංචි වතුර පාරකට ඔච්චර ලොකු දේවල් කරන්නේ ඇයි කියලා. කට්ටිය ඉතින් අවවාදේ පිලිඅරන් ආයේ වතුර ගැහුවොත් අත අරින්නේ නෑ කියලා එතනින් යන්න ගියා. 
වෑන් අංකල් අපිට ඔය වැඩේට බැන්නේ නැති එක තමා පුදුම. හ්ම්ම්!!!


ප.ලි - අර අපිව පාවලා දීපු කෙනාව එදායින් පස්සේ වෑන් එකේ කරපු හැම දේවල් වලින් අයින් කලා. (විශේෂයෙන් වෑන් පාටි වලින්)

Thursday, May 24, 2012

වතුර තුවක්කුව - 01

කලින් "ජනප්‍රිය කෙනා" කතාව වගේ නෙමේ. මේ කතාව සම්පූර්නයෙන් ඩයරියේ ලියලා තිබ්බා. කලින් "ජනප්‍රිය කෙනා" කතාවේ 95% ක් විතර ලිව්වේ මතකයෙන්. 
හරි මේ වැඩේ උනේ මම නවය වසරේ ඉන්දැද්දි. ඒ කාලේ මම ඉස්කොලේ ගියේ ස්කූල් වෑන් එකකින්. අපේ ඉස්කොලේ ලමයි එකේ 8 ක් විතර හිටියා. වෙන ඉස්කෝලවල ලමයි පවා හිටියා. මම වෑන් එකේ ඉඳගත්තේ ඩ්‍රයිවර් සීට් එකට සීට්  1 ක් පිටිපස්සේ. ඒ කිව්වේ වෑන් එකේ දොර ලඟ තියෙන සීට් එකට පිටිපස්සේ සීට් එකේ. මාත් එක්ක සීට් එකේ ඉඳගත්තේ සුමුදු කියලා නංගි කෙනෙකුයි මගේ හොඳම යාලුවා පවිත්‍රියි. ඒ දෙන්නම මගේ ඉස්කොලේ. මම ඉඳගත්තේ දොර පැත්තේ. සුමුදු මැද. පවිත්‍රි අනෙක් අයිනේ.අපේ සීට් එකට ඉස්සරහ දොර ලඟ සීට් එකේ හිටියේ පිරිමි ලමයි විතරයි. (ඒ ඔක්කොම හැබැයි මටයි පවිත්‍රිටයි වඩා බාල අය. :P)
ඉස්කොලේ ඇරුනට පස්සේ අපේ ඉස්කොලේ අයයි , වෙන ගෑනු ලමයිගේ ඉස්කෝලවල අයයි ගත්තට පස්සේ තමයි පිරිමි ලමයිව ගන්න ඒ ඉස්කෝල පැත්තට යන්නේ. ඔය එක පිරිමි ඉස්කෝලෙකට යන අපේ වෑන් එකේ මල්ලිලා 3දෙනෙක් වෑන් එක එනකන් ඉන්නේ ඒ ඉස්කොලේ තියෙන පාරේ තියෙන අරලිය ගහක් කිට්‍ටුව. මේ අරලිය ගහ ලඟ ගොඩක් ලමයි ඉන්නවා. ලොකු අයියලාගේ ඉඳලා 1 වසරේ පොඩි කට්ටිය වෙනකම් වයස් වල අය. ඉතින් කාලෙක ඉඳන් ඔය අරලිය ගහ ලඟ ඉන්න අයියලා කට්ටියක් අපේ වෑන් එක නැවැත්තුවාම අපේ සීට් එකේ අයට සද්ද දානව. අපිත් ඉතින් මුලින් ඇහෙන්නේ නෑ වගේ හිටියා.
ඉතින් ඔහොම කාලේ ගිහිල්ලා නොවැම්බර් මාසෙත් ආවා. 
මේ කාලේම තමයි සුමුදු නංගි එයාගේ වතුර තුවක්කුව ගෙනාවේ. ඉතින් මටයි පවිත්‍රිටයි සුමුදුට මේ වතුර තුවක්කුවෙන් කාට හරි වතුර ගහන්න පුදුම ආසාවක් තිබ්බේ. හැබයි මේ වතුර තුවක්කුවෙන් ගොඩක් දුරට වතුර විද්දට , හීනි වතුර පාරක් තමයි එලියට විදින්නේ. කොහොම හරි කමක් නෑ කියලා අපි දවසක් ලෑස්ති උනා කාට හරි වතුර ගහන්න. එදා සිකුරාදා දවසක්. ඉස්කොලේ ඇරුනට පස්සේ වෑන් එකට නැගලා වතුර තුවක්කුවට වතුර පුරවලා එහෙම ලෑස්ති වුනා. හැබැයි ප්‍රශ්න දෙකක්. කාටද ගහන්නේ? කවුද වතුර ගහන්නේඅපි වතුර ගහන්න ලැස්ති උනේ අපිට අර සද්ද දාන අයියලා කට්ටියට . අපි ඒ කට්ටියේ ලීඩ්ර් වගේ හිටපු කෙනාට කිව්වේ "බයිටා" කියලා. හික් හික්
ඉතින් බයිටා තමයි ටාගට් එක. ඔන්න පවිත්‍රි බාරගත්තා වතුර ගහන්න. මොකද එයා වෑන් එකේ ඉඳන් ඉන්නේ මම වගේ දොර පැත්තේ නෙමේ නිසා එයාට මටයි සුමුදුට කවර් වෙලා වතුර ගහන්න පුලුවන් නේ. ඔන්න වෑන් එක  කිට්‍ටු උනා අර ඉස්කෝලේ පැත්තට . පවිත්‍රි බයිටාට වතුර ගහන්න ලැස්ති උනා. වෑන් එක අරලිය ගහ ලඟට ගියා. පවිත්‍රි අපේ වෑන් එකේ මල්ලිලා ටික වෑන් එක ලඟට එන්න ඉස්සෙල්ලා මෙන්න වතුර ගැහුවා. හරියටම බයිටගේ ෂර්ට් එකට වැදුනේ. බයිටා ඇතුලු අයියලා සෙට් එකම එක පාරටම වෑන් එක වට කරගත්තා. මමනේ දොර අයිනේ ඉන්නේ. අපේ වෑන් එකේ මල්ලිලා ටික දොර ඇරලා නැග්ගා විතරයි බයිටා එතනට ඇවිත් දොර වහන්නේ දෙන්නේ නැතුව දොර අල්ල ගත්තා.
 ඊට පස්සේ මගේන් භයානක look එකක් දාලා ඇහුවා "කවුද වතුර ගැහුවේ?" මට ඒ වෙලාවේ තිබ්බ බය මතක් වෙද්දි අම්මෝ ... කොහොම හරි පවිත්‍රි වතුර තුවක්කුව හංගලා තිබ්බේ. එක නිසා කවුද ගැහුවේ කියලා හොයා ගත්තේ නෑ. ඉතින් අපේ වෑන් අංකල් අයියලා කට්ටියට බැන්නට පස්සේ දොර වහලා දැම්මා. ඒත් බයිටා කිව්වා අපිව පස්සේ අල්ලගන්නම් කියලා. බුදු අම්මෝ ! 99න් බේරුනේ.  

ඉතිරි කොටස ඊලඟ පොස්ට් එකෙන්...





Tuesday, May 22, 2012

මටත් වෙච්ච දෙයක්...

මේ කතාව අද මීට පැය කිහිපයකට පෙර මම  අත්විඳපු අත්දැකීමකින් ලියන්නේ. අද දවල් මම තනියම බො‍රැල්ලේ තියෙන Aquinas එකට ගියා මගේ Final Project එක භාර දෙන්න. මම ගියේ බස් එකේ. මම ගිහින් සර්ව හම්බ වෙලා Project එක බලන්න දුන්නා. සර් එකේ තව විස්තර ටිකක් ඕනේ කියපු නිසා මම ඉතින් භාර දෙන්නේ නැතුව හැරිලා ආවා.
මම දැන් ගෙදර යන්න ඕනේත් බස් එකේමනේ. ඉතින් මට හිතුනා බො‍රැල්ලට ආපු එකේ ලඟ තිබ්බ Fashion Bug එකෙන් මොනාහරි ගන්න ඔනේ කියලා. මමත් ඉතින් මට අවුරුද්දට හම්බ වෙච්ච සල්ලි වලින් බඩු දෙක තුනක් ගත්තා. ඔහොම අරගෙන මම එලියට ඇවිත් ඇවිත් පාරෙන් එහා පැත්තේ තිබ්බ බස් හෝල්ට් එකට ගියා. එතන හිටියේ දෙන්නේක් විතරයි. මම ඉතින් එතනට ගියා.
 මම යන බස් රූට් මේ ලෝකේ තියෙන එපාම කරපු බස් රූට් සර්විස් එක. පැයකට එන්නේ බස් දෙකක් විතරයි. මතක් කරනකොට එපා වෙනවා.
ඉතින් මම හෝල්ට් එකේ ඉද්දි එතන හිටපු එක්කෙනෙක් බස් එකකට නැග්ගා. මම විතරයි ඔතන දැන් ගැණු ලමයෙක්ට හිටියේ. මම ඔහොම බලන් ඉද්දි එකපාරට පිටිපස්සෙන් හිටපු කලු කන්නාඩි දාගත්තු මිනිහෙක් එයා ලඟින් ඉඳගන්න කියලා සංඥා කලා. මම එක පාරටම ඉස්සරහ බලාගත්තා.
මම ඒ වෙලාවේ හොඳට බය වුනා. මම වටපිට බලද්දි හොල්ට් එක හරියට ගැණු කෙනෙක්ට හිටියේ මම විතරයි. ඒ වෙලාවේ මගේ ඔලුවේ වැඩ කලේ බස් එක ඉක්මනට එන්න කියලා. විනාඩියක් විතර බලන් ඉඳලා බැරිම තැන මම ආපහු එක ලඟ හෝල්ට් එකට පයින් ගියා. ඊට පස්සේ ටික වෙලාවකින් ආපු බස් එකේ ගෙදර ආවා. එත් මට තාමත් අර කලු කන්නාඩි දාගෙන හිටපු මනුස්සය මට එයා ලඟින් ඉඳගන්න කියලා සංඥා කරපු හැටි අමතක කරන්න බෑ. මටත් වෙච්ච දෙයක්...

Monday, May 21, 2012

ජනප්‍රිය කෙනා - 03 ( අවසාන කොටස)

මේ කොටස කියවන්න කලින් පලවෙනි කොටස යි දෙවෙනි කොටස යි කියෙව්වේ නැත්තන් කියවන්න

  
හරි කතාවට යමු...

මට හිතුනේ මොකද්ද කියලා කියන්න කලින් මම පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මම සාමන්‍යෙන් අඳුරන්නේ නැති ජීවිතේ පලමු වතාවට දැක්ක කිසිම කෙනෙක් එක්ක කතාවට වත් හිනාවෙන්නේ වත් නෑ. විශේෂෙන් පිරිමි කට්ටිය එක්ක.
ආපහු කතාවට....
මට මොකද්ද දන්නවාද හිතුනේ. මට හිතුනේ 'ජනප්‍රිය කෙනා' ලඟට ගිහින් මම මුලින් කියපු මේකලා ගැන අහන්න. මම මේක මගේ යාලුවට කිව්වම එයාට මම ගැන පුදුමත් හිතුනා.(මම වීර කමක් කරන්නනේ යන්නේ කියලා මට ජීවිත පලමු වතාවට හිතුනා) ඔන්න මම ගියා වීරයා වගේ අර 'ජනප්‍රිය කෙනා' ඉන්න පැත්තට. හෙමින් සීරුවේ මාත් 'ජනප්‍රිය කෙනා'ගේ පිටිපස්සට ගිහින් එක පාරට ඇහුවා " ඔයා මේකලා ව දන්නවද?" කියලා. මෙන්න මෑන් එක පාරටම ගැස්සිලා වගේ මගේ දිහා පිටිපස්සේ හැරිලා බැලුවා. ඊට පස්සේ 'ජනප්‍රිය කෙනා' මට "පොඩ්ඩක් ඉන්න" කියලා එයා අතේ තිබ්බ ඔටෝග්‍රාෆ් එක පැත්තකට දාලා මට හෝල් එකේ ඉස්සරහ අයිනට මට කතා කලා. මාත් ගියා ඕන එකක් කියලා. (මේ වෙද්දි 'ජනප්‍රිය කෙනා' වටේ හිටපු ළමයි මේ වැඩේ කන්න වගේ බලන් ඉන්නවා කියාලා මට ක්ලික් උනේ පස්සේ) ඔන්න අපේ 'ජනප්‍රිය කෙනා' ' මගේන් ඇහුවා "ඔයා කොහොමද මේකලා ගැන දන්නේ?" . මම ඉතින් වීරයා වගේ කිව්වා " එයා අපේ ඉස්කොලේ පන්තියේ ඉන්නේ. මගේ යාලුවෙක්" . මෙයා එක පාරම ඇහුවා "ඔයා (අපේ ඉස්කෝලේ නම කියලා) ද යන්නේ ? " මාත් ඉතින් කිව්වා ආඩම්බරෙන් "ඔව්" කියලා.



ඊට පස්සේ උනේ මොකද්ද දන්නවද? මෙයා මගෙන් ඇහුවනේ " ඔයා පියුමිනි ව දන්නවද?"  කියලා. මාත් ඉතින් මොනා කියන්නද "ඔව් දන්නවා එයාත් අපේ පන්තියේ ඉන්නේ" කියලා කිව්වා. ඊට පස්සේ අපේ 'ජනප්‍රිය කෙනා' පැණි හිනාවක් එහෙම දාලා මගෙන් ඇහුවා "පියුමිනි මං ගැන පන්තියේදි කතාකරනවද?" කියලා. මට මෙයාට කියන්න බෑනේ මම පියුමිනි එක්ක වැඩිය කතා කරන්නේ නෑ කියලා. මම කිව්වා "මට නම් ඒ ගැන ඇහිලා නෑ . හෑබයි මේකලා නම් ඔයා ගැන කතා කරනවා" කියලා කිව්වා. (මේකලා  'ජනප්‍රිය කෙනා' ගැන කතා කරනවා කියලා මම කිව්වේ  'ජනප්‍රිය කෙනා' ගේ රිඇක්ශන් එක බලන්නයි) . මෑන් චුට්ටක් මගේ ආන්සර් එකෙන් අප්සට් ගැහුවා. මම ඉතින් තවත් මෙතන ඉන්න එක හොඳ නැති නිසා "බායි . මට පරක්කු වෙනවා" කියලා හීන් සීරුවේ මාරු උනා.
ඔයිට පස්සේ මම මගේ යාලුවා එක්ක පල්ලේහා අපේ තාත්තා එනකම් ඉද්දි වෙච්ච දේවල් කිය කිය හිනා වෙවී හිටියා .එතකොට අපේ  'ජනප්‍රිය කෙනා' ගේ වටේ ඉඳලා එයා අත්සන එහෙම ගත්ත දෙතුන් දෙනෙක් විතර මං ලඟට ඇවිත් ඇහුවා "ඔයා මොනාද ('ජනප්‍රිය කෙනා'ගේ නම කියලා) එක්ක ගොඩක් වෙලා කතාකලේ?" මට ඉතින් හිනා. මම ඉතින් කට්ටියට තිබ්බ ඉරිසියාව වැඩිවෙන්නත් එක්ක කිව්වා "එයා මගේ ඉස්කොලේ නම අහලා මාත් එක්ක වැඩිපුර කතා කලා " . (අපේ සයන්ස් පන්තියේ ඒ වෙනකොට මගේ ඉස්කොලෙන් හිටියේ මං විතරයි)  මගේ යාලුවට ඒක හොඳටම හිනා.  මට ඉතින් ඒ වෙලාවේ හිතුනේ අන්තිම 49 වත් තේරුනේ නැති මේ 'ජනප්‍රිය කෙනා'ට ගිය කල කියාල. හික් හික් :P

ප.ලි - මේ වෙච්ච දේ ඉස්කෝලේ පන්තියට ප්‍රසිද්ධියේ කීම නිසා මේකලා මාස කිහිපයක් යනතුරුම මගෙන් හා මගේ යාලුවන්ගෙන් බයිට් විය.

ප.ප.ලි- එසේ ප්‍රසිද්ධියේ කියපු කතාවෙන් 'ජනප්‍රිය කෙනා' අර පියුමිනි ගැන ඇසු දේවල් කපා හරින ලදී. මන්ද මට පියුමිනි ගේ දේවල් අදාල නොවන නිසාය. නමුත් ඒ කපා හරින ලද කොටස මගේ හොඳ මිතුරු කැළ පමනක් දන්නේය. :P

Saturday, May 19, 2012

නිදහසට පෙර මතක




2009 අද වගේ දවසක අපේ රට  වසර 30ක් පුරා තිබුන ත්‍රස්තවාදයෙන් නිදහස ලැබුවේය. ඒ රණ බිමේ සටන් වැදුනු දිවි පිදූ  අපේ වීරෝධාර රණවිරුවන් හා රටේ නායකත්වය නිසාය. ඒ ලැබූ නිදහසට තුන් වසරක් සැපිරෙන අද වගේ දවසක මට මේ සටහන ලියන්න සිතුනා. ඒ 2006දී මම ලියපු දිනපොතේ සමහර සටහන් උපුටා දක්වන්නයි. මම සාමන්‍යෙන් දින පොත් පාවිච්චි නොකරට 2006දි විතරක් මම සම්පූර්නයෙන්ම දින පොතේ සටහන් තබලා තිබුනා. 2006දී රටේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම මම මෙතන සටහන් කරලා තිබ්බේ නැති උනාට ඒ සමහර සිදුවීම් මගේ එදිනෙදා ජීවිතේට බලපාපු හැටි ලියලා නම් තිබුනා.
මම හිටියේ ඔය කාලේදි ඉස්කෝලේ නවය වසරේ. මම දවස් කිහිපයක සටහන් උපුටා ගන්නම්.

2006 අප්‍රේල් 25 - මම ඉස්කෝලේ ගියා. අද හමුදා මුලස්ථානේ බෝම්බයක් පිපිරුනා.

2006 අප්‍රේල් 26 - ඉස්කෝලේ ගියා. වෙනදට වඩා ළමයි අද පන්තියේ අඩුයි. හැබැයි රටේ අද කලබල තත්වේ අඩුයි.

2006 ජූනි 28 - අද කොලඹ ඉස්කෝලේකට බෝම්බයක් ගහනවා කියලා මිතිලා උදේ කෝල් කලා. පස්සේ ගොඩක් අය කෝල් කලා අපේ ඉස්කෝලෙත් ටාගට් එකක් නිසා මාව ඉස්කෝලේ යවන්න එපා කියලා. ඒක නිසා ඉස්කෝලේ ගියේ නෑ. හැබැයි බෝම්බයක් නම් පිපුරුනේ නෑ.

2006 ජූනි 29 - ඉස්කෝලේ ගියා. ඊයේ අපේ ඉස්කොලේ ලඟින් බෝම්බයක් කියලා සැකකරන පාර්සලයක් හම්බ උනා කියලා ආරන්චියක් ආවා.

2006 අගෝස්තු 14- ඉස්කෝලේ ගියා. කොලඹ ආපහු බෝම්බයක් පිපුරුනා. ඒක නිසා අද ඉඳලා ඉස්කෝලේ නිවාඩු දුන්නා.

මේ සටහන් කිහිපයක් විතරයි. ඒත් මේ අත්දැකීම් වලට හැබෑවටම මුහුණ දුන් අයට මේ මතක කවදාවත් හිතින් අමතක නොවේවි.

Friday, May 18, 2012

ජනප්‍රිය කෙනා - 02


මේ කොටස කියවන්න කලින් පලවෙනි කොටස කියෙව්වේ නැත්තන් කියවන්න

තව දෙයක්.... මේ විදිහේ බ්ලොග් එකක් ලියන පලවෙනි වතාව නිසා පොඩ්ඩක් කතාව පැහැදිලි නෑ කියලා මට කීප දෙනෙක් කීවා. කතාවේ හැඳින්වීම අපැහැදිලි නම් මට සමාවෙන්න. මේකයි කෙටියෙන් කියනවනම් : මේකලා ජනප්‍රිය කෙනාව ටීවී එකේ දැකලා තියෙනවා. ඒත් ජනප්‍රිය කෙනා මේකලාව දැකලා නෑ.පියුමිනි ජනප්‍රිය කෙනා යන සයන්ස් පන්ති ගිය නිසා පියුමිනි ජනප්‍රිය කෙනාව දන්නවා ඒ වගේම ජනප්‍රිය කෙනාත් පියුමිනිව දන්නවා. තව දෙයක් ජනප්‍රිය කෙනා පියුමිනිට කැමතියි. පියුමිනි ජනප්‍රිය කෙනාට ඒත් කැමති නෑ.  ඒක නිසා පියුමිනි  ජනප්‍රිය කෙනාගෙයි මේකලා වයි නම් එකතු කරලා බයිට් කරනවා.ඒක නිසා ජනප්‍රිය කෙනා මේකලාව නමින් දන්නවා . පියුමිනි මේකලාවයි ජනප්‍රිය කෙනාවයි එකතු කරලා බයිට් කරන්නේ මේකලා ජනප්‍රිය කෙනා ගැන කියපු මොකක් හරි දෙයක් ගැන පියුමිනි දැනගත්තට පස්සේ ඉඳන්. ඒ මොකද්ද කියල මම දන්නේ නෑ. ඒත් මොකක් හරි ජනප්‍රිය කෙනා ගැන වර්ණනාවක් වෙන්න ඇති. මේක තමයි උනේ ඒ දවස්වල 

හරි කතාවට යමු...

කොහොමහරි මමයි  ඒ දවස් වල පන්තියේ මාත් එක්කම හිටපු මගේ යාලුවයි වේලාසනින්ම ලෙක්චර් එක තිබ්බ හෝල් එකට ගිහින් වාඩි වුනා. ටික වෙලාවකින් ළමයි 30ක් 40ක් විතර හෝල් එකේ පිරුනා. ඔන්න ඊට පස්සේ සර් එයාගේ සංගීත භාණ්ඩයි ඉස්කොලේ ගෝලයෝ තුන් හතර දෙනෙකුයි එක්ක හෝල් එකට ආවා. අපිට ආයුබොවන් කියලා ඊට පස්සේ සර් පාඩමට අර ආපු කට්ටියත් එක්ක ලැස්ති වෙන අතරේ මගේ යාලුවගේ එහා පැත්තෙ හිටපු ළමයෙක් කිව්වා සර් එක්ක ආපු එක්කෙනෙක්ව එයාට දැකලා පුරුදුයි කියලා. ඔය කෙනා එච්චරම උස නැති කෙට්‍ටු පිරිමි ළමයෙක්. මාත් ඉතින් එහා පැත්තෙ හිටපු ළමයට  "ආ ඇත්තද?" කිව්වා. මමත් මගේ යාලුවත් ඕක එච්චර ඒ වෙලාවේ සීරියස් ගත්තේ නෑ.
 ඔන්න ඊට පස්සේ අපේ සර් එක්ක ආපු කට්ටියම හඳුන්වලා දුන්නා. ඔහොම ගිහින් අන්තිමට හඳුන්වලා දුන්නේ අර එහා පැත්තෙ හිටපු ළමයා කිව්ව කෙනාව. මෙන්න අපේ සර් කිව්වා "මේ ඉන්නේ  'ජනප්‍රිය කෙනා'ගේ (නම)". ඒක ඇහුව මම එක පාරට උඩ ගිහින් විසි උනා. (ඇත්තට උඩ ගිහින් විසි උනේ නෑ) මට එතකොට තමයි මතක් උනෙ 'ජනප්‍රිය කෙනා'ගේ ඉස්කොලේ තමයි අපෙ සයන්ස් සර් ත් ඉගැන්නුවෙ කියලා.

ඊට පස්සේ සර් පාඩම කරගෙන ගියා. අපේ 'ජනප්‍රිය කෙනා' ගිටාර් එක ගහලා සින්දුවක් එහෙම කිව්වා. ඔයා අතරේ මම මගෙ යාලුවට 'ජනප්‍රිය කෙනා' ගැන විස්තර ඔක්කොම කිව්වා. මගේ යාලුවටත් පුදුමයි. මොකද පියුමිනි උසයි මහතයි එක්ක බලද්දි අපේ මේ 'ජනප්‍රිය කෙනා'ගේ තරම දැක්කම හිනා යනවා. (එහෙම හිනා වෙන්න හොඳ නෑ. ආදරේට ඕවා බලපාන්නේ නෑනේ)
කොහොම හරි අපේ සර් ත් 'ජනප්‍රිය කෙනා'ගේ විස්තර කියද්දි එයාව මුරුංගා අත්තේ තියාගෙනම ගුණ වර්ණනා කලා. අර ජනප්‍රිය සුපිරි තරු වැඩසටහනත් දොස් කිවා මේ 'ජනප්‍රිය කෙනා' අන්තිම 12ට තේරුනේ නැති එකට. (අපි මොනා කරන්නද කවුරුත් එයාට SMS නොකරට)
කොහොම හරි ලෙක්චර් එක ඉවර උනා. සර් ඉක්මනට හෝල් එකෙන් එලියට ගියා. අපිත් යන්න ලෑස්ති වෙද්දි මෙන්න වැඩක්. හෝල් එකේ හිටපු ගොඩක් ගෑනු ළමයි අර 'ජනප්‍රිය කෙනා'ගේ වටේ රොක් වෙලා අත්සනයි  ෆොන් නම්බර් එකයි ගන්නවා. මමයි මගේ යාලුවටයි හිනා. මේ 'ජනප්‍රිය කෙනා' කෙනා මෙතන සුපිරි තරුව වෙලානේ. ඔය වෙලාවේ මට කවදාවත් හිතුනේ නැති දෙයක් හිතුනා. 

මට හිතුනේ මොකද්ද කියලා දැනගන්න ඊලඟ පෝස්ට් එක කියවන්න.

ප.ලි - මෙහි එන සියලු නම් ගම් මනක්කල්පිතයි



Monday, May 14, 2012

ජනප්‍රිය කෙනා - 01



මේ කතාව පලවෙනියටම ලියන්න හිතුනේ මේ බ්ලොග් එක ලියන මම කොයි වගේද කියලා පොඩ්ඩක් හරි කියවන අයට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතිලයි.
කතාව පටන් ගන්න කලින් කතාවට අදාල වෙන කට්ටිය ගැන කියන්න ඕනේ.
පලවෙනි අදාල පුද්ගලයා තමයි මගේ මොන්ටිසෝරි එකටත් ගියපු ඉස්කෝලේදි පන්තියේ (මේ සිද්ධිය වුන දවස් වල) මං හිටපු තැනට ඉස්සර ඉඳගෙන හිටපු මගේ (දැන්) පරණ යාලුවෙක්. මං එයාට මේකලා කියලා කියන්නම්. 
දෙවනි කෙනා තමයි මගේ 7 වසර පන්තියේ ඉඳලා 11 වසර වෙනකම්ම හිටපු ඉස්කෝලේ පන්තියේ ළමයෙක්. එයාට මං පියුමිනි කියලා කියන්නම්. මේ පියුමිනි ගෙයි මගේ එච්චර කතාබහක් තිබුනේ නෑ 8 වසරේ අන්තිම කාලේ ඉඳලා. ඒකට හේතුව පරණ සිද්ධියක්. ඒක මෙතෙන්ට අදාල වෙන්නේ නෑ.ඒ සිද්ධියත් මං පස්සේ ලියන්නම්කෝ. :P
තුන්වෙනි කෙනා නම් මං ජීවිතේට දැක්කේ එකම පාරක් විතරයි. ඒ මේ කතාව සිද්ධිය වෙච්ච දවසේ. මේ කෙනා ඒ කාලේ ජනප්‍රිය සුපිරි තරු වැඩසටහනක අන්තිම 49 යේ හිටපු කෙනක්. මෙයා අපේ වයසේ. හැබැයි අන්තිම 12 දෙනාට නම් තේරුණේ නෑ. මේ කෙනාට මං 'ජනප්‍රිය කෙනා' කියලා කියන්නම්.
මේ 'ජනප්‍රිය කෙනා'ට මම 'ජනප්‍රිය කෙනා' කියලා කිව්වට එයා එහෙම ජනප්‍රිය නෑ. හැබැයි එයා නම් එහෙම තමයි ඒ කාලේ හිතාගෙන හිටියේ. හික් හික් :P
ඔය 'ජනප්‍රිය කෙනා' ගියේ අර මම වැඩියේ කතා නොකරන පියුමිනි ගේ සයන්ස් පන්තියට. ඉතින් මේ  'ජනප්‍රිය කෙනා' මං කියපු පියුමිනි ට ඒ දවස් වල ලයින් දාලා තියෙනවා. ඒත් මේ පියුමිනි අර 'ජනප්‍රිය කෙනා'ට කැමති නම් නෑ. (ඒකට එක හේතුවක් මං 'ජනප්‍රිය කෙනා' ව ඇත්තට දැක්කට පස්සේ තමයි හිතාගන්න පුලුවන් උනේ.) ඒත් අර මම මුලින් කියපු මේකලා මේ 'ජනප්‍රිය කෙනා'ට කැමතියි කියලා පියුමිනි ඇතුලු අපේ පන්තියේ ගොඩක් අය මේකලාට විහිළු කරනවා. ඒ විහිලු කරන්න පටන් ගත්තේ කොහොමද කියලා මං තාම දන්නේ නෑ. හැබයි අර මේකලා පියුමිනි ගියපු සයන්ස් පන්තියට නම් නෙමෙයි ගියේ. ඒ කියන්නේ ඔය 'ජනප්‍රිය කෙනා' අපේ මේකලාව දැකල තිබ්බේ නෑ. අපේ මේකලාට වගේ ඔය 'ජනප්‍රිය කෙනා'ටත් මේකලාගේ නම කියල පියුමිනි ප්‍රසිද්ධියේ බයිට් කරනවා ඒ කාලේ. ඒක නිසා 'ජනප්‍රිය කෙනා' මේකලාව දැකල තිබ්බේ නැතිවුනාට නමෙන් දන්නවා. ඒ වුනා ඔය  'ජනප්‍රිය කෙනා' අර පියුමිනිට තිබ්බ කැමැත්ත අත ඇරලනම් තිබ්බේ නෑ.
හරි කට්ටිය ගැන කිව්වා ඇති. කතාව පටන් ගන්නම්.
මේ සිද්ධිය උනේ මම O/L කරන කාලේ 11 වසරේදි අපේ සයන්ස් පන්තියේ පලමු වාරේ තිබ්බ ලෙක්චර් එකකදි. පාඩම තමයි "ධ්වනිය". අපේ සයන්ස් සර් ඔය ලෙක්චර් එක කලේ සර්ගේ ඔක්කොම පන්ති ටික එකතු කරලා. සර් කිව්වා මේ ලෙක්ච්ර් එකට සංගීත භාණ්ඩ එහෙම ගෙනල්ලා සර් ගේ ඉස්කෝලේ සින්දු කියන ලමයි එහෙම එක්ක ඇවිත් පාඩම ප්‍රැක්ටිකල් විදිහට කරනවා කිව්වේ. මේක කියවන අය හිතනවා ඇති සයන්ස් උගන්නන්න මොකටද සංගීත භාණ්ඩ. මේ පාඩම "ධ්වනිය"නේ. "ධ්වනිය"පාඩමට අපිට සංගීත භාණ්ඩ වල නාද රටා ගැනයි අවට තියෙන දේවල් වලින් හදන සංගීත භාණ්ඩ ගැනත් ඉගෙන ගන්න තිබුනා. ඒකට මේ දේවල් ඉතින් ඕන වෙනවා. අනික මේ අපෙ සයන්ස් පන්තියේ අන්තිම අවුරුද්දනේ. සර් ලමයින්ට ෆන් එකටත් එක්ක වෙන්න ඇති ඔය විදිහෙ ලෙක්චර් එකක් ලැස්ති කලේ. 

කතාවේ ඉතිරි ටික ඊලඟ පෝස්ට් එකෙන්....


ප.ලි - මෙහි එන සියලු නම් ගම් මනක්කල්පිතයි 

ඇයි මේ බ්ලොග් එක?



A/L ත් කරලා ඉවරයි. නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි කමට කරපු ග්‍රැ‍ෆික් කෝස් එකත් ඉවරයි. මීට දවස් දෙකකට කලින් කරන්න කිසිම දෙයක් නැතුව ඉද්දි මගේ පරන් ඩයරි ටිකක් හම්බ උනා. ඒ ටික කියවද්දි ඉස්සර කරපු මැටි වැඩ් මතක් උනා. ගොඩක්  බ්ලොග්  ලියන කට්ටිය ඒගොල්ලන්ට ඇත්තට වෙච්ච දේවල් , දැක්ක දේවල් ලියන හින්දා මටත් ඒ වැඩේම කරන්න හිතුනා.

ප.ලි - මේ බ්ලොග් එක ලියන්නේ මම දැනට ලියන බ්ලොග්  හිට් වෙලා නැති නිසා එහෙම  නෙමේ : P