Friday, July 27, 2012

මගේ උපන්දිනේ වෙනස් කරපු හැටි

මම කෙලින්ම කතාව කියන්නම්. මේ කාලේ මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ 9 වසරේ. අද වගේම ඒ දවස් වලත් හින්දි ‍Film වලටයි ඒ නළු නිලියන් ගැනයි පිස්සුවක් තිබුණා. ඒත් ඔය කාලේ මගේ Computer එකට Internet Connection එකක් තිබුනේ නෑ. ඒක නිසා හින්දි ‍Film ගැන නළු නිලියෝ ගැන විස්තර එකතු කරේ පත්තර වලින්. ඉතින් ඔය පත්තර වල විස්තර වලට අමතරව වෙන විදිහකින් විස්තර ලැබෙනවා කියන්නේ නිධානයක් ලැබෙනවා වගේ ඒ කාලේ. 
ඔය කාලේ මගේ ඉස්කෝලේ පන්තියේ යාළුවෙක් කිව්වා ඉස්කෝලේ වෙන පන්තියක ඉන්න එයාගේ යාළුවෙක් ලඟ ‍Filmfare සඟරාවක් තියෙනවා ඒකේ මම කැමතිම නළුවාගේ පින්තූරයි විස්තර වගයකුයි තියෙනවා කියලා. ඉතින් මගේ යාළුවා මට පොරොන්දු වුනා ඒ සඟරාව මට ගෙනත්දෙන්න. ඒ වුනාට  මේ සඟරා ඉස්කෝලෙට ගෙන එන එක තහනම්. ඒත් මට යාළුවාව හම්බ වෙන්නේ ඉස්කෝලේදි විතරයි නිසා වෙන විදිහක් තිබුනෙත් නෑ. 
කොහොම හරි මගේ යාළුවා මට සඟරාව ගෙනත් දෙනවා කියපු දවසේ ඒක ගෙනාවේ නෑ. එයා ඒක ගෙනාවේ ඊට සතියකට විතර පස්සේ. ඉතින් එයා ගෙනාවට ඕක කාටවත් අහුවෙන්නේ නැති විදිහට තියාගන්නත් එපැයි. ඉතින් මමයි මගේ යාළුවෝ ඔක්කොමයි ඉක්මනට ඇතුල බලලා ඉවරවෙලා සඟරාව තෑග්ගක් විදිගට ඔතලා තිබ්බා. ඉතින් ඕක මගේ බෑග් එකේ තිබ්බේ. 
කොහොම නමුත් පෙර කරපු පාප කර්මයක් නිසාමද මන්දා එදා 9 වසරේ මුලු Section එකේම බෑග් Check කලා හරියටම English Period එකේ. ඉතින් අපේ පන්තිය Check කරපු Prefect කෙනෙක් මගේ බෑග් එකේ තිබ්බ තෑග්ග මගේ ඉස්සරම කඩලා බැලුවා. ඉතින් ඇතුලේ තිබ්බ එක දැකලා Prefect ඒක අපේ English Miss ලඟට අරන් ගියා. English Miss මගෙන් ඇහුවා කාගේද Magazine එක කියලා. මගේ යාළුවෝ ඔක්කොම මාවයි Magazine එකයි බේර ගන්න ඕනේ නිසා එක මගේ Birthday Present එක යාළුවෝ ඔක්කොගෙන්ම කියලා. ඔහොම තමයි නොවැම්බර් තිබ්බ මගේ උපන්දිනේ සැප්තැම්බර් වලට මාරු කලේ. 


ප.ලි - හොඳ වෙලාවට මගේ උපන්දිනේ Register එකෙන් Check කලේ නැත්තන් මායි මගේ යාළුවොයි ඉවරයි. Magazine එක Prefect ලා Principal's Office එකට ගෙනිච්චට අපේ Class Teacher ඒක ආපහු ගෙනත් දුන්නා.


ප.ප.ලි- English Miss මටයි මගේ යාළුවන්යි බැන්නා මේ වගේ Cheap English තියෙන Magazines කියවන්න එපා කියලා. ඒත් මම දැක්කා Prefect අක්කලා Magazine එක වටවෙලා බලනවා. අපේ English මිසුත් එක ඉවර උනාට පස්සේ හීන්සීරුවේ අක්කලා ඉන්න තැනට ගියා. :D


ප.ප.ප.ලි- මේ පින්තූර බලන්න තමයි මම  Magazine එක ඉල්ල ගත්තේ 




Saturday, July 21, 2012

ලාවා කේක් කන්න කැමතිද?

මාව Twitter එකේ follow කරන අය නම් දන්නවා මට ලාවා කේක් ගැන තියෙන අමුතුම ආසාව. ඒවා කන්නයි, හදන්නයි ලැබෙන කොට මට පුදුම සතුටක් දැනෙන්නේ. හැබැයි හරියට ලාවා ආවේ නැතිවුනාම නම් ඉතින් තරහෙන්  පුපුරනවා. කොහොමත් ලාවා කේක් විතරක් නෙමේ, මම කෑම හදන්න හරිම කැමතියි. හැබැයි ඉතින් මට හිතුන වෙලාවට විතරයි. මම ගිය සතියේ ලාවා කේක් හැදුවා කාලෙකට පස්සේ. හැබැයි එකේ ලාවා තිබුනේ නෑ. ඒ මම වැඩිපුර වෙලාවක් බේක් කරපු හන්දා.හැබයි ඊයේ හදපු එකනම් ගානට නියමෙට ආවා.ඒත් මට කන්න උනේ කේක් දෙකයි.මොකද අපේ නංගි මටත් හොරෙන් ඉතිරි ටික කාලා.  :(
මම කියන්නම් මට ලාවා කේක් ගැන ආසාව ඇතිවුනේ මොකද කියලා. ඔයාලට මතකද ඒ දවස් වල ටීවී එකේ පීසා හට් එකේ ඇඩ් එකක් ගියා ලාවා කේක් ගැන. ඒක දකින දකින හැම වෙලාවෙම මට පුදුම ආසවක් හිතුනේ ලාවා කේක් කන්න. ඒත් අපේ තාත්තා පීසා හට් එක පලාතෙවත් යන පාටක් තිබ්බේ නෑ. ඉතින් මම ඔහොම දුකෙන් කල් ගෙවද්දි මට නිකමට වගේ හිතුනා youtube එක පැත්තේන් ලාවා කේක් හදන එක හොයාගන්න. අන්තිමට මට හොඳම video recipe එක හම්බවුනා. ඊට පස්සෙ මම සාර්ථක විදිහට දෙපාරක් හැදුවා. එත් ගිය සතියේ හදපු එක නම් වෙලාව වැඩියෙන් තියෙලා වැඩේ අවුල් කර ගත්තා. ඒත් ඉතින් ඊයේ හදපු එක සාර්ථක වුන නිසා මට හිතුනා ඔයාලත් එක්ක ලාවා කේක් හදන හැටි බෙදා ගන්න.

මේක හදන්න ඕන කරන්නේ මේ දේවල් (ලාවා කේක් 6ක් සඳහා)


කුකින් චොක්ලට් ( මේවා සුපර් මාකට් වල තියෙනවා. කුකින් චොක්ලට් වල ඩාර්ක් චොක්ලට් වඩා හොඳයි)
සීනි කෝප්ප 2/3
පිටි කෝප්ප 1/2
බේකින් පවුඩර් තේ හැඳි 1
බිත්තර 2 
බටර් අවුන්ස 4
ම‍ෆින් ට්‍රේ හෝ අවන් එකට දාන්න පුලුවන් පුංචි කෝප්ප

සාදන ක්‍රමය

මුලින්ම බිත්තර 2 හා සීනි කෝප්ප 2/3 හොඳින් දියකර ගන්නවා. මේ අතරේ කුකින් චොක්ලට් කැබලි 4ක් පමණ සාස්පානක් හෝ තැටියක් මතට දමා ගන්නවා. ඊට පස්සේ ඒ සාස්පාන හෝ තැටිය වතුර පුරවපු භාජනයක් උඩ තියලා රත් කර ගන්නවා.මේ ක්‍රමයට ඩබල් බොයිල් ක්‍රමය කියලා කියෙනවා. චොක්ලට් සම්පූර්නයෙන්ම දියවුනාට පස්සේ ලිප නිවලා සාස්පාන හෝ තැටිය ඉවතට අරන් ඒකට බටර් එකතු කරනවා. එතකොට චොක්ලට් වල රස්නෙන් බටර් චොක්ලට් එක්ක දියවෙනවා.ඉන් පස්සේ මේ චොක්ලට් බටර් මිශ්‍රනයේ රස්නේ අඩුවුනාට පස්සේ බිත්තර හා සීනි මිශ්‍රනයට එකතු කරගන්නවා. මේකටම පිටි හා බේකින් පවුඩර් එකතු කරනවා.මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරලා බටර් ගාගත් ම‍ෆින් ට්‍රේ එකේ ටින් වලට 3/4 වන ලෙස මිශ්‍රනය එකතු කරලා විනාඩි 10ක් කලින් රත් කර ගත් අවන් එකේ උශ්නත්වය 160°C විනාඩි 10ක් පමණ බේක් කර ගන්න.

මේ මං ඊයේ හදපු ලාවා කේක් එකක්


ප:ලි- අපේ තාත්තා ලාවා කේක් අරන් දුන්නා පස්සේ කාලෙක. පීසා හට් එකේ ලාවා කේක් වගේම තමයි ගෙදර හදපු ඒවත් කියලා මට තේරුනා. :)

ප.ප.ලි: Original Recipe එක http://www.youtube.com/watch?v=JxjQEk9kRuw

Thursday, July 19, 2012

ෆැන්ටසි ලෝකයට අපි කැමති ඇයි?


ෆැන්ටසිය ඒ කියන්නේ සිතෙන් මවාගත් දේවල් වලට ඇයි මිනිසුන්  ප්‍රිය කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. මොකද මමත් ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සාමන්‍යයෙන් මිනිස්සු වෙන කෙනෙක් නිර්මාණය කරන ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සමහරු තමන්ගේම ෆැන්ටසි ලෝකයක් මවාගෙන ඉන්නවා. මිනිස්සු ෆැන්ටසි දේවල් වලට කැමති ඔවුන්ගේ හිතේ තියෙන සමහර ආසාවන් ඉ‍ටුකරගන්න සැබෑ ලෝකෙදී තිබෙන අපහසු කම නිසයි. තව හේතුවක් තමයි මේ තරඟකාරි ලෝකයෙන් මොහොතකට මිදෙන්න අවස්ථාවක් ෆැන්ටසි ලෝකයකින් ලැබෙන නිසා. ෆැන්ටසි ලෝකය මූලිකවම කතාවක්. ඒක පොතක කතාවක් වෙන්න පුලුවන්, චිත්‍රපටියක් වෙන්න පුලුවන්,එහෙම නැත්තම් තමන්ගේම හීනයක් වෙන්නත් පුලුවන්. සමහරු තර්ක කරන්න පුලුවන් මේ ෆැන්ටසි දේවල් මිනිස්සුන් ගේ මනස විකෘති කරනවා කියලා. ඒත් මොහොතක් හිතන්න, මේ ලෝකේ වැඩිම ආදයම් ලබන චිත්‍රපටි, කතාපොත් මොනවද? ඒ ඔක්කොම කවුරු හරි නිර්මානය කරපු ෆැන්ටසි දේවල්. හැරී පොටර් හා මායා ලෝකයේ ඉඳලා ට්වයිලයිට් හි වැම්පයර්වරු ඔක්කොම ෆැන්ටසි දේවල්. මේ දේවල් මේ තාක්ශනයත් එක්ක ගොඩනැගුනු දේවල් නෙමේ. ආදි කාලේ ඉඳන්ම මිනිස්සු ෆැන්ටසි දේවල් වලට ආසකරනවා. ඒක නිසා තමයි, සමහර පුරාවෘත, මකරු , යුනිකෝන් වගේ මායා සතුන්ට මිනිස්සු තාමත් ආසා කරන්නේ.  
මේ ගැන ඔයාලගේ මතය දැන ගන්න මම කැමතියි

Wednesday, July 11, 2012

ආදරණීය සීයේ

අද ජූලි 11 වනදාය. 2006 අද වගේ දවසක මගේ සීයා ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා මෙලොවින් සමුගත්තා. සීයා මිය යනකොට වයස අවුරුදු 77 යි. සීයාට ලෙඩකට කියලා තිබුනෙත් ආතරයිටිස් විතරයි.අපේ සීයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම අරන් ඒ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න අවස්ථාව තිබ්බත් සීයා ගෙදර හැමෝගෙම අකමැත්තෙන් සීයාගේම ඥාති පුතෙක්ගේ තැනක වැඩකලා.සීයා හිටියේ පුංචි එක්ක වුනත් සීයා තමන්ගේ දරුවන් කවදාවත් බරක් වුනේ නෑ.සීයා හැම මාසේම පඩි දවසට සීයාගේ හැම මුනුපුරු මිනිබිරියන්ට මොනාවා හරි අරගෙන බලන්න එනවා.සීයා නැතිවෙද්දි මම හිටියේ 9 වසරේ.
එදා හවස සීයා අපේ ගෙදර ආවා මටයි නංගිටයි කන්න බිස්ක‍ටුයි පලතුරුයි අරගෙන. අපිත් එක්ක කතා කර කර ඉඳලා 6 ට විතර අපේ ගෙදරින් පිටත් වුනා. මට තාම මතකයි එදා ලංකාව ප්ලේ කරන ක්‍රිකට් මැච් එකක් අපි ටීවී එකේ බල බල හිටියේ. සීයා යන්න කලින් මිදුලෙදී මැච් එකේ ස්කොර් එකත් මගෙන් ඇහුවා. ඒත් ඒ මම සීයත් එක්ක කතා කරපු අන්තිම වචන ටික කියලා ඒ වෙලාවේ හිතුන නම්......
කොහොම හරි එදා රෑ 7.30ට විතර චූටි මාමා ඒ කියන්නේ අපේ අම්මගේ චූටි මල්ලි කෝල් කරලා කිව්වා සීයා තාම ගෙදර ගිහින් නෑ කියලා. ඒ වෙලාවේ හැමෝම හිතුවේ සීයාට බස් එකේදි නින්ද ගිහින් හරි වැරදි බස් එකක නැගලා නිසා පරක්කු කියලා. ඒත් චූටි මාමා කඩුවෙල හංදියට ගියා සීයාව හොයන්න. අන්තිමට චූටි මාමා හොයලා හොයලා බැරිම තරම ගෙදර ඇවිත් අපිට කෝල් කලා. ඊට පස්සේ අපේ තාත්තාත් ගියා කඩුවෙල පුංචිලාගේ ගෙදර කට්ටිය එක්ක සීයාව හොයන්න යන්න. එදා දවසේ මම දැන ගත්තේ ඔච්චරයි. මමත් නිදා ගත්තා ඊට පස්සේ දවසේ ඉස්කෝලේ යන්න ඕන නිසා.ඒත් මොකක් නිසාද මම දන්නේ නෑ මට හිතුනෙම සීයා අපිව දාලා මේ ලෝකෙන්  ගිහින් කියලයි. කොහොම හරි මම ඊලඟ දවසේ උදේ නැගිටලා සාලේට එද්දි දැක්කේ පඩි පෙල උඩ ඉඳන් අපේ අම්මා අඬනවා. මම නිදිමතේ ආපු නිසා මම හිතුවේ මට විකාර පේනවා කියලයි. ඊට පස්සේ මූණ හෝදලා කන්න එද්දි තමයි මට හරියටම තේරුනා මොකක් හරි වෙලා කියලා.අම්මවත් තාත්තවත් මාත් එක්ක කතා කලේ නෑ. මම සීයාට මොකද වුනේ කියලා දැන ගත්තේ අපිත් එක්ක හිටපු සුදු ආච්චිගෙන්. (සුදු ආච්චි කියන්නේ අපේ අම්මගේ පුංචි කෙනෙක්) සීයා නැතිවුනා කියලා සුදු ආච්චි කිව්වා.
ඒත් ඒක කොහොමද වුනේ කියලා ඇහුවම, ලැබුන උත්තරේ මම කවදාවත් අහන්න හිතපු දෙයක් නෙමේ. සීයා නැතිවෙලා තියෙන්නේ ලොරියකට හැප්පිලා.සීයා බස් එකෙන් බැහලා ටික දුරක් ඇවිද ගෙන යද්දි පිටිපස්සේන් ආපු ලොරියක් සීයාවත් යට කරගෙන ගිහින් තියෙනවා.ඒ ලොරිය සීයාව හප්පන්න කලින් බයික් එකකුත් හප්පගෙනම තමයි ඇවිත් තියෙන්නේ. පොලිසියෙන් ලොරියේ ඩ්‍රයිවර් ව අල්ලා ගත්තත් හොඳට හිටපු අපේ සීයා ආපහු එන්නේ නෑ. ඒත් මම ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට මේවගේ විපතක් වෙන්න එපා කියලයි.
මට තාම මතකයි සීයාගේ මරණ ගෙදරට ආපු හැමෝම කිව්වේ සීයාගේ වයසේ කෙනෙක් වයසට ගිහින් හරි ලෙඩක් දුකක් හැදිලා මේ ලෝකෙන් යද්දි අපේ සීයා මේ විදිහට හදිසි අනතුරකින් අපිව දාලා ගියපු එක වාවන්නේ නෑ කියලා.

ඉතිරි සල්ලි දෙන්නේ නැත්තේ ඇයි?



මම මේ කතාව ලියන්න හිතුනේ මම ඊයේ ඉස්කෝලෙට චරිත සහතිකේ වැඩ වගයකට ගියපු වෙලාවේ බුක්ශොප් එකේදි වුන දෙයක් නිසායි.
ඉතිරි සල්ලි කියන වචනේ ඇහුව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ බස් වල කොන්දොස්තරලයි. ඒත් මම කතා කරන්න යන්නේ මූලිකවම ඒ අය ගැන නෙමෙයි.
මේ අත්දැකීම මම ඉස්කෝලේ යන කාලය පුරාම අත් වින්ද දෙයක්.  මම මුලින් ගියපු ඉස්කෝලෙත් ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලෙත් තිබුන කැන්ටින් එකෙත් , කැෆේ එකෙත් , බුක් ශොප් එකෙත් මොනව හරි සල්ලි වලට ගත්තහම ඉතිරි සල්ලි කාසි වලින් දෙන්න ඕන ගානක් නම් කාසි වෙනුවට හම්බ වුනේ ටො‍ෆි (දැන් නම් මෙන්ටොසුත් දෙනවා ). මම මුලින් ටො‍ෆි කන්න කැමති වුනත් පස්සේ ටො‍ෆි කන එකත් එපා වුනේ මේ ඉතිරි සල්ලි වෙනුවට ටො‍ෆි හම්බ වෙනවා වැඩි නිසයි. 
මට තාම මතකයි දවසක් ඉස්කෝලේ කැටේකට දාන්න සල්ලි දාන්න රුපියල් දහයක් මාරු කරගන්න පන්ති වටේ රවුන් ගහපු හැටි. මොකද අපේ පර්ස් වල කාසි වෙනුවට ටො‍ෆි නේ තිබුනේ. මුලින් ගියපු ඉස්කෝලෙදි සමහර වෙලාවට තරහ ගිහිල්ලා කැන්ටිමේ ඇන්ටිලා/අක්කලා එක්ක ඉතිරි සල්ලි කාසි වලින් දෙන්න කියලා යාලුවෝ එක්ක එකතු වෙලා රණ්ඩු වෙලාත් තියෙනවා. ඒත් වැඩක් වෙලා නෑ. 
මම ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලේ බුක් ශොප් එකේ කන දේවලුත් විකුනපු නිසා තමයි අපිට ඉතිරි සල්ලි වෙනුවට ටො‍ෆි හම්බ වුනේ. ඒත් මම මුලින් ගියපු ඉස්කෝලෙ බුක් ශොප් එකේ එහෙම නැති නිසා දවසක් ඉතිරි රුපියල් පහ වෙනුවට මකනයක් හම්බ වුනා. (ඒක නම් නරක දෙයක් නෙමෙයි) ☺
මේ ටො‍ෆි නිසා වෙච්ච අනික් අවාසිය තමයි අපි බස් එකේ පන්ති යද්දි බස් එකට ගානට සල්ලි දෙන්න බැරිවෙනවා. මොකද සමහර බස් වල ඉතිරි සල්ලි ලැබෙන්නේ නෑනෙ. ඒ වෙනුවට මොකුත්ම ලැබෙන්නේත් නෑනේ.