Sunday, August 19, 2012

සෙල්ලම ලෙල්ලම

"ඒයි චමිඳු, මට වතුර එකක් අරන් එනවා"

"චමිඳු, මගේ ඇඳුම් ටික වැලට දානවා"

පුංචි චමිඳුට මෙලෙස ඇසෙන වාර දිනකට නොගිණිය තරම්ය. තවමත් 2 වසරේ ඉගෙන ගන්න ඔහුට මෙලෙස අණ කිරීම් කරනු ලබන්නේ ඔහුගේම එක්කුස උපන් අක්කා හා අයියාය. චමිඳු මේ සියලු දේ කරබාගෙන ඔහුට පවරන සියලු දේ කරන්නේය. ඔහුගේ අක්කාගේ හා අයියාගේ මෙම අණ කිරීම් යන්තම් හෝ නවතින්නේ එතෙර සිටින ඔවුන්ගේ පියා ගෙදර පැමිණ සිටින කාලයේ පමණි. ඔවුන්ගේ මවගේ කීමටවත් චමිඳුට මේ පවරන වැඩ නවතින්නේ නැත.
 එක් දිනක ඔවුන්ගේ සීයා ඔවුන් බලන්නට පැමිණියේය. ඒත් සීයාගේ පැමිණීම නිසා වැඩිපුරම කෝපයෙන් සිටියේ චමිඳුගේ අක්කා හා අයියාය. ඒ සීයා චමිඳුට වැඩිපුර ලෙන්ගතු කමක් දැක්වූ නිසාත් පුංචි චමිඳු සීයා සමඟම කාලය ගත කිරීමට කැමතිත් නිසාය. සීයා බුලත් විටක් සපමින් චමිඳුට කතා කියා දුන්නේය, දාං ඇදීමට කියා දුන්නේය. දින කිහිපයක් සීයා ඔවුන් සමඟ නතර වීමට පැමිණි නිසා, චමිඳුගේ අක්කාත් අයියාත් වෙනදාට චමිඳුට කියා කරගන්නා වැඩ තමන් විසින්ම කර ගත යුතු වූ නිසා චමිඳුට පාඩමක් උගන්නන්නට හිතා ගත්‍‍තෝය. මේ අතරේ චමිඳුගේ අයියාට කදිම අදහසක් පහල විය. 
ඔහු සීයා කන බුලත් විටක් හොර රහසේ ගෙන ඊට දුන්කොල හා හුණු වැඩිපුර දමා සෑදුවේය. ඊට පසු ඔහු පුංචි චමිඳුට සීයා වත්ත පහලට ගිය වෙලාවක් බලා තමන් ලඟට ගෙන්වාගෙන බුලත් විටක් කන්න යැයි කීවේය. සීයා විසින් කිසිදාක තමන්ට බුලත් කන්නට නොදුන් බැවින් ඊට ආසවෙන් බුලත් විටින් කෑල්ලක් කෑවේය. ඒත් අසරණ චමිඳු ඒ බුලත් විට ඔහුව මත් කරන්නට දුන් වගක් නොදත්තේය. බුලත් කෑ චමිඳුට ඔහුගේ අයියා අල්ලන සෙල්ලම් කරන්නට එන්න කීවේය. ඊට කැමති වූ චමිඳු තමන්ගේ අයියා සමඟ සෙල්ලම් කිරීමට මිදුලට දිව්වේය. එහෙත් ඔහු මත්වී සිටි නිසා දිව්වේ බේබද්දෙක් මෙනි. චමිඳු දුවන අයුරු දු‍ටු ඔහුගේ අක්කාද අයියා සමඟ එකතු වී චමිඳුට තව හයියෙන් දුවන්න යැයි කියමින් දුවන අයුරු බලා විනෝද විය. ඒත් අසරණ චමිඳු ටික වෙලාවකින් ඇද වැ‍ටුනේය. 
සෙල්ලම ලෙල්ලම වී ඇති බව දැන ගත් චමිඳුගේ අක්කා හා අයියා ඔවුන්ගේ කාමර වල සැඟවුනෝය. වත්ත පහල සිට ආ සීයා බිම ඈද වැටී සිටි චමිඳුව දැක භීතිය පත් විය. සීයා වතුර ටිකක් ඉස ටික වෙලාවකින් සිහිය ආ චමිඳු සිදුවූ දේ පැවසුවේය. එදායින් පසු පුංචි චමිඳුට අක්කාවත් අයියාවත් වැඩ නොපැවරවිය.

(නිර්මාණයක් පමනි)

ප.ලි: මේ මාගේ පලමු කතාවයි. අදහස්, යෝජනා, චෝදනා පහතින් පලකරන්න. ස්තූතියි.

Monday, August 13, 2012

ඉගනීමේ අගය

ඊයේ මම මගේ පරණ පොත් තියෙන පෙට්ටි වගයක් අවුස්සද්දි මට මගේ 7 වසර සිංහල රචනා පොත හම්බ වුනා. එතකොට මම දැක්කා ඒකේ මම ලියලා තිබ්බ රචනා අතරින් මට තාමත් හොඳට මතක රචනාවක්. මාතෘකාව "ඉගෙනීමේ අගය". මේ රචනාව මම මුලින් ලිව්වේ ඒ කාලේ උදේට පන්තියේ නම් පිලිවෙලට එක්කෙනෙක්ට කතාවක් හරි කවියක් හරි කියන්න ඕනේ කියලා නීතියක් තිබුන නිසා ඒකට කතාවක් විදිහටයි. මගේ නම මුල් 5 දෙනා අතර තිබුන නිසා මට හැම වාරේම මුලින් තමයි කතාව පවත්තන්න තිබ්බේ. ඉතින් මම කතාව පාඩම් කරලා පලවෙනි වාරේ මට අදාල දවසට කතාව පැවැත්තුවා. ඊට පස්සේ ඊලඟ වාරේ මගේ කතාව වුනේත් ඒකමයි. තුන් වෙනි වාරේත් එහෙම්මයි. අපේ පන්ති භාර මිස් ම තමයි සිංහල ඉගැන්නුවේ. ඒත් මිස්ට මතක තිබ්බේ නෑ මම මේ එකම දේ හැම වාරේම කියනවා කියලා. ඒත් මගේ යාළුවන්ට තේරුනා මම කරන හොර වැඩේ මොකද්ද කියලා. ඒත් එයාලා ඒකට මොකුත් කරන්න ගියේ නෑ. ( හොඳ වෙලාවට ) . අන්තිමට මම මේ රචනාවම අන්තිම වාර විභාගේ රචනාවටත් ලියලා තිබුනා. ඉතින් ප්‍රශ්න පත්තරේ බලපු මිස් මට කිව්වා මේ රචනාව හොඳ නම් මදි කියලා. ඒ වෙලාවේ මට හිතුනා මිස් ඕක කතාව මුලින්ම කියද්දිම කිව්වනම් ඉවරයිනේ කියලා.

මේ තියෙන්නේ ඒ රචනාව ;

නීමේ අගය

ලොව උපන් සෑම කෙනෙකුටම යම් කිසි ඉගෙනීමක් අවශ්‍යයි. ඒ සඳහා දහම් පාසලෙන් හා පාසලෙන් අපි ඉගෙනුම ලබමු. දහම් පාසලෙන් අපි හොඳ සාරධර්ම හා බෞද්ධ සිරිත් විරිත් ඉගෙන ගනිමු. අපිට පාසලෙන් විශය හා ප්‍රායෝගික දැනුම මෙන්ම හොඳ විනයක් යටතේ ජීවිතය හැඩ ගැස්වීමටද පුරුදු කරයි.
පාසලේදී ගුරුවරුන්ට කීකරු වීම, ඇහුම්කන් දීම හා එදිනෙදා වැඩ එදිනෙදාම කිරීම යන පුරුදු අප තුල වර්ධනය කරගත යුතුයි.අපි අපේ දැනුම පොතපතින් පමණක් නොව පුවත්පත් වලින්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හා සඟරා වලින් අපගේ දැනුම වර්ධනය වේ.
වර්තමානයේ ලොව ජීවත් වීමට ‍රැකියාවක් අවශ්‍යයි. ‍රැකියාවක් කිරීමට ඉගෙනීම අවශ්‍යයි. අපිත් හොඳට ඉගෙනගෙන රටට බරක් නොවී රටට සේවය කරන යහපත් පුරවැසියෙකු වීමට උත්සහ ගනිමු.

ප.ලි: වාර විභාගෙට මම මීට වඩා ලියන්න ඇති. මොකද මෙතන වචන ගාන අඩුයිනේ