Monday, June 25, 2012

Z ස්කොර් නිසා වෙච්ච දේ


අද උදේ අහන්න ලැබුනු නරක ආරංචියක් නිසා තමයි මම මේ හදිස්සියෙන්ම මේක ලියන්න  හිතුවේ. නැත්තන් එකම දවස පෝස්ට් දෙකක් දාන්නේ නෑනේ. කොහොම හරි අද උදේ නඩු තීන්දුවක් දීලා තියෙනවා අපේ Z ස්කොර් එක ආපහු වෙනස් කරන්න කියලා. මමත් කරුමෙට ගිය අවුරුද්දේ තමයි ඒ ලෙවල් කලේ.මදැයි කැම්පස් යන්න බලන් හිටියා. තිබ්බ ස්කොර් එකටත් වඩා අඩු ස්කෝර් එකක් එව්වොත් එහෙම මම ඉඳලා ඉවරයි. මොකද දෙපාරක් ඒ ලෙවල් කරන්න බෑ කියලා ගෙදර අයට කිව්ව නිසා.එත් ඔය එවන Z ස්කොර් එක ඉක්මනට එව්වොත් තමයි හොඳ. මොකද මම ගෙදරට වෙලා මොකුත් නොකර අවුරුද්දක්ම වේලි වේලි හිටියා.ඒ කිව්වට මොකුත්ම නොකර හිටියේ නෑ. ඒත් තව මොනාහරි ඉගෙන ගන්න තිබුනා. මොකද තාමත් සතියේ දවස් හයක්ම ගෙදරනේ.
කරුමේ කියන්නේ අපේ බැච් එකේ කට්ටියමනේ අර ඕ ලෙවල් ගණන් පේපර් එකත් දෙපාරක්ම ලිව්වේ. 1992 ඉපදිලා අලුත් විශය නිර්දේශ වලින් විභාග ලියන්න කාපු කට්ට මතක් වෙද්දි දැන් හිතෙනවා මම තව මාස 3ක් පරක්කු වෙලා ඉපදුනා නම් හොඳයි කියලා.

මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?

මාතෘකාව දැක්ක ගමන් මම  මගේ ප්‍රථම ප්‍රේමය ගැන කතාවක් කියන්න යන්නේ කියලා කට්ටිය හිතෙනවා ඇති. ඒත් එක එහෙම නෙමේ. එහෙම කියලා මේක කියවන්නේ නැතුව ඉන්න එපා.
මම අද හිතුවා මම කැමතිම හින්දි සිංදුව සිංහලට පරිවර්තනය කරන්න. මේ සින්දුව කබි කුශි කබි ගම් (තේරුම: වෙලාවකට සතුට වෙලාවකට දුක) කියන චිත්‍රපටියේ මම ගොඩක් ආදරේ කරන ෂාරුක් ඛාන් හා කාජල් ඉන්න "සුරජ් හුවා මාද්දම්" සිංදුවයි. මේ සිංදුව කියන්නේ ලඟදි ලංකාවට ආපු සෝනු නිගම් හා අල්කා යාග්නික්.
ඒත් මම මේ සින්දුවට කොච්චර කැමති වුනත් සිංහලට පරිවර්තනය කරද්දි මට හිතුනා මේකේ පද රචනය කොච්චර බොලඳද කියලා. කියවලාම බලන්නකෝ........


හිරු මුදුන් වුයේය. සඳ දැවෙන්නට පටන් ගත්තේය.
කිමද මේ අහස උණුසුම් වෙන්නේ? 
මා බලා සිටියාය.එහෙත් පොලව ගමන් ගන්නට පටන් ගත්තේය.
මේ හදවත චංචල වුවේය. මගේ සුසුම නැවතුනේය.
මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද? 
සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


මෙය සුන්දර මොහොතකි. එනමුත් සෑමදේම වෙනස් වන්නේය.
සිහින සැබෑ වන්නට පටන් ගන්නේය.
අපේ මේ බැඳීම වසර සිය ගණනක් පැරණිද? 
ඒ නිසා නේද මා ඔබව මෙලෙස හමු වන්නේ
මේ ආදරයේ ඍතුව මෙලෙසම පවතින්නේය
ජන්මයක් ජන්මයක් පාසාම මාවම මෙලෙස හමුවන්න


මා බලා සිටියාය.එහෙත් පොලව ගමන් ගන්නට පටන් ගත්තේය.
මේ හදවත චංචල වුවේය. මගේ සුසුම නැවතුනේය
මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද? 
සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


ඔබේ ඔය ප්‍රභාවෙන් මාව වර්ණවත් කරන්න, සොඳුරිය
ඔබව හිමිවීමෙන් මට මාවම අහිමි වන්නේය, සොඳුරිය
ඔබේ ආදරයේ  කිමිදී 
මා වෙරළක් බඳු වන්නේය සොඳුරියේ. 


මේ  සාගරය පිපාසිත වන්නේය. රාත්‍රිය උදා වන්නේය.
හදෙහිද ගිනිදැල් වලින් ගිනිපුපුරු විසිවන්නේය.


සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


හිරු මුදුන් වුයේය. සඳ දැවෙන්නට පටන් ගත්තේය.
කිමද මේ අහස උණුසුම් වෙන්නේ? 


සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


ප.ලි: මම ලියපු විදිහේ අවුලක් නිසා තේරුම බොලඳ වුනාද දන්නේ නෑ...

ප.ප.ලි: ඔය මොකක් වුනත් සිංදුව ලස්සනයි. කලින් බලලා නැත්තම් සිංදුව මෙතනින් බලලම යන්න.

Tuesday, June 19, 2012

රුපියල් 150

මේ සිද්ධිය වුනේ මම O/L කරන අවුරුද්දේ මම ගියපු ටියුශන් පන්තියේදියි. මේක ටියුශන් පන්තියක්ම නෙමේ , ඉන්ස්ට්‍රිටියුට් එකක්. මම එකේ විශයන් 4 කට පන්ති ගියා. ඒ ඔක්කොම පන්ති මම ගියේ සෙනසුරාදා විතරයි. සුමුදු නංගිත් ආවේ ටියුශන් වලට මේ ඉන්ස්ට්‍රිටියුට් එකටමයි. ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදුම තමයි ) 
සෙනසුරාදා මට කොමස් පන්ති තිබුන වෙලාවට සුමුදු නංගිටත් පන්තියක් තිබ්බා ඒ ඉන්ස්ට්‍රිටියුට් එකේම. මේ කාලේ සුමුදු නංගි නවය වසරේ ඉගෙන ගත්තේ. එයත් එක්කම එයාගේ හොඳම යාලුවෝ දෙන්නෙකුත් පන්ති ආවා. මමයි , මගේ යාලුවයි ( ජනප්‍රිය කෙනා කතාවේ මාත් එක්ක හිටපු යාලුවාම තමයි) සුමුදුයි , එයාගේ යාලුවෝ දෙන්නයි ඉන්ටවල් එකේදි අපේ කොමස් පන්තිය ඉස්සරහ කොරිඩොර් එකේ හම්බ වෙනවා.
මේ කාලේම සුමුදු නංගිට ඒ ඉන්ස්ට්‍රිටියුට් එකටම එන පිරිමි ළමයෙක්ට හිත ගිහිල්ලා තිබුනේ. සුමුදු නංගි මට ඒ පිරිමි ළමයව පෙන්නුවා ඉන්ටවල් එකේදී. ඒ ළමයා කවුද මොන ඉස්කොලේද කීය වසරේද කියලා කිසිම දෙයක් අපි දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ හින්දා සුමුදු නංගි හරිම සෑඩ් මූඩ් එකේ හිටියේ. මේ පිරිමි ළමයාගේ විස්තර හොයන්න අපි පුලුවන් තරම් උත්සහ කලා. ඒ උත්සහයේ ප්‍රතිපලයක් විදිහට අපිට දැනගන්න ලැබුනේ එයා මගේ වයසේ කියලා විතරයි. කොහොම හරි තව විස්තර දැනගන්න ඕනේ නිසා අපි කට්ටියම මේ පිරිමි ළමයා ගැන සොදිසියෙන් හිටියේ . ඔහොම සෝදිසියෙන් ඉන්ඳැද්දි අපි දැක්කා මගේ පන්ති 3කටම එන නවින් කියන පිරිමි ලමයා එක්ක සුමුදු කැමති එක්කෙනා කතා කරනවා. ඉතින් අපි තීරනය කලා නවින් ගෙන් සුමුදු කැමති එක්කෙනා ගැන විස්තර අහන්න.
 නවින් ක්ලාස් එකේ ඉන්න ඔක්කොම ලමයි එක්ක ‍ෆිට්. නවින් හොඳ තැන්පත් ලමයෙක් කියලා තමයි ප්‍රසිද්ධ. ඊට පස්සේ අපි නවින්ගෙන් ඇහුවා.මෙන්න නවින් අපිට කිව්වනේ වැඩේ නිකන් කරන්න බෑ කියලා. අපි ඇහුවේ අරයගේ නමයි, ඉස්කෝලේයි වගේ විස්තර විතරයි. ඒත් නවින් අපෙන් සල්ලි කඩා ගන්න හදනවා. එක දවසින් ඕනේ නිසා අපි කන්න ගෙනාපු සල්ලි වලින් රුපියල් 150ක් දුන්නා. අන්තිමට මේයා නමයි ඉස්කෝලේයි කිව්වා.
ඒත් නවින් ඒ නමේ අකුරක් වැඩියෙන් දාලා කියලා තියෙන්නේ කියලා පස්සේ අපි දැනගත්තේ.... 
අයියෝ සල්ලි!

Wednesday, June 13, 2012

මංගල බණට ආරාධනය

මේ වැඩේ වුනේ මීට දින කිහිපයකට කලින් මං දන්න කෙනෙක්ට. කෙනා කවුද කියන එක කියන්නේ නැතුව මේ කතාව කියන්නම්.
සාමන්‍යයෙන් ලංකාවේ (සමහර) පිරිමි ලමයි වැඩිපුරම ඉන්න තැන් දෙකක් තමයි ෆේස්බුක් හා පන්සල.
ඒ වගේම තමයි පන්සල් වල වැඩ වාසය කරන පොඩි හාමුදුරුවරු පන්සලට දහම් පාසලට එන සම වයස් වල පිරිමි ලමයි එක්ක කතාබහ කරනවා කියන එකත් හැමෝම දන්නවා ඇතිනේ.
ඉතින් එක පන්සලක ඉන්න උපසම්පදා නොවුන තරුණ හාමුදුරු නමක් මම දන්න මල්ලි කෙනක්ව අඳුරනවා. මේ ලඟදී දවසක මේ මල්ලිට ෆේස්බුක් රික්වෙස්ට් එකක් මේ හාමුදුරුවන් එවලා තියෙනවා. මල්ලිත් පුදුම වුනාලු ඒක දැකලා. ඉතින් මල්ලිත් ඕන එකක් කියලා ඇක්සෙප්ට් කරාලු.
 ඉතින් ඔහොම යද්දි හාමුදුරුවෝ මේ මල්ලිත් එක්ක චැට් කරන්නත් ගත්තලු. ඉතින් මේ ඊයේ පෙරේදා දවසක හාමුදුරුවෝ චැට් කරන ගමන් මේ මල්ලිට පන්සලේ බුදු පිලිම ශුද්ධ පවිත්‍ර කරන්නයි ඒ හාමුදුරුවන්ගේ මංගල බණටයි එන්න කිව්වලු. 
මේ කතාව ඇහුව ගමන් හිතුනේ මට ලංකාවේ සන්නිවේදනේ දියුණුව වැඩි වෙලා තියෙන තරම තමයි. :P


ප.ලි: මංගල බණ කියන්නේ සාමනේර හාමුදුරු නමක් උපසම්පදා උනාට පස්සේ කියන පලවෙනි බණයි

Monday, June 4, 2012

ප්‍රති ප්‍රහාරය

මම අද කියන්න යන කතාව සමහර අයට විට හිනා යන එකක් වෙන්න පුලුවන්. ඒත් මේ කතාවෙන් ගොඩක් අයට යම් කිසි පාඩමක් ඉගන ගන්න පුලුවන් කියලා මම විස්වාස කරනවා. මේ කතාව මම ඩයරියේ ලියලා තිබ්බේ නැතත් මේ සිද්ධිය වුනේත් මම නවය වසරේ ඉන්ඳැද්දි. (මට මතක විදිහට)
මමයි සුමුදුයි ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදු ම තමයි ) ඉස්සර වෑන් එකෙන් බැහැලා ගෙදර එන්නේ එකට. අපිට ටික දුරක් පාරේ තනියෙන් ඇවිදගෙන එන්න ඕනේ. මෙහෙම ඇවිදගෙන ආපු එක දවසක් ස්කූල් වෑන් එකක් පාරේ යනගමන් අපි ලඟින් වේගේ අඩුකරගෙන ගියා. අපි ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ. (මේ පාර ප්‍රධාන පාරක් එහෙම නෙමේයි. ගෙවල් විතරක් තියෙන පොඩි අතුරු පාරක්)
මේවගේ කිහිප දවසක් ඔය වෑන් එක ඔහොම කලා. අපිත් මොකුත් කිව්වේ නෑ. ඊට පස්සෙ එක දවසක්  මේ වෑන් එකේ ඩ්‍රයිවර් අපිට මොකද්ද කිව්වා. ඒ කියපු එක හරියට ඇහුනෙ නෑ. එදායින් පස්සේ අපි මේ වෑන් එක ගැන සොදිසියෙන් හිටියේ. ඔය වෑන් එකේ ඩ්‍රයිවර් තරුණ කෙනෙක් නම් නෙමේ.මැදි වයසේ කෙනෙක්. ඒ වගේම ඔය වෑන් එක අපි ලඟින් යද්දි වෑන් එක ඇතුලේ ගොඩක් ලමයිනුත් නෑ. මේක නිසා අපි ටිකක් බයවුනා. දන්නවනේ අද කාලේ මිනිස්සුන්ගේ හැටි?
ඊට පස්සෙ අපි මේ වෑන් එක මඟ හරින්න උත්සහ කලා. මේ වැඩේ හැබැයි අපිට කරන්න ලැබුනේ ටික දවසයි. අපි සුපුරුදු විදිහට ඇවිදගන යද්දි වෑන් එක පස්සේන් ආවා. අපි ගෙවල් වල කිට්‍ටු කරලා තිබුනේ නැති නිසා එතනින් දුවන්න විදිහක් තිබ්බේත් නෑ. ඉතින් ඔය වෑන් එක අපි ලඟට  කිට්‍ටු කරලා එකේ ඩ්‍රයිවර් අපිට ජම්බු වගයක් දික් කලා. අපි ඉතින් වේගේ වැඩි කරලා හයියෙන් ඇවිදගෙන යන්න ගත්තා. ඊට පස්සේ වැන් එක අපිව පහු කරන් යද්දි මොකද්දෝ කියාගෙන ගියා. අපිට ඒ කියපු එක තේරුනේ නෑ. කොහොම හරි ඔයිට පස්සේ දවසක සුමුදු දැකලා තියෙනවා  අපේ ස්කූල් වෑන් එක යන මාදින්නාගොඩ පාරට ඔය වෑන් එක ඒ පාරේ තියෙන වෙන අතුරු පාරක ඉඳන් එලියට එනවා. ඊට පස්සේ අපි නෝට් කලා හරියටම අපේ ස්කූල් වෑන් එක යන වෙලාවට වගේම ඒ වැන් එක අපිට හම්බ වෙනවා.
ඔහොම කොහොම හරි ඊට පස්සේ වාර අවසානේ ඉස්කොලේ නිවාඩු දෙන දවසට අපේ වෑන් එක කට්ටිය පාටියක් ලැස්ති කලා. ඉතින් පාටියක් කිව්වට අපි කරන්නේ මෙගා බීම බෝතල් ගෙනල්ලා එවායේ බීම බෙදා හදාගෙන බීලා ඉතුරු වෙන හිස් බෝතල් වලට වතුර පුරෝලා අපිට වතුර ගහන අයට ප්‍රති ප්‍රහාර එල්ල කරන එකයි. හික් හික් 
කොහොම හරි නිවාඩු දෙන දවසේ ඔහොම විනෝද වෙවී යද්දි අපි කට්ටිය දැක්කා අර වෑන් එක කලින් කිව්ව තැනදී. දැකපු ගමන් කලබල වෙලා මමයි සුමුදුයි කලේ මොකද්ද දන්නවද? අපි බීම බෝතලයක් ඉස්සරහ ඉඳන් හිටපු මල්ලි කෙනෙක්ට දුන්නා අර ඩ්‍රයිවර් ගේ මූණටම ගහන්න කියලා.  ඉතින් මල්ලියත් වැඩේ හරියටම කලා. එවෙලෙ අර ඩ්‍රයිවර්ගේ මූණ මතක් වෙද්දි තාමත් හිනා යනවා. එත් වැඩේ කියන්නේ මමයි සුමුදුයි මල්ලිට දීලා තියෙන්නේ වතුර පුරෝපු බෝතලයක් නෙමෙයි. බාගේට ඉතිරි වෙලා තිබ්බ ජින්ජර් බියර් බෝතලයක්. ඒක අපිට තේරුනේ අර මල්ලි කිව්වට පස්සේ... 
හැබැයි ඒ නිවාඩු දෙන දවස තමයි අපි ඒ ඩ්‍රයිවර් ගේ මූන දැක්ක අන්තිම දවස. ඊට පස්සේ ඒ වැන් එක එලෙව්වේ වෙන ඩ්‍රයිවර් කෙනෙක්. .... 

කිරි පිඩු දානය

එදා අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නට කලින් සුජාතා සි‍ටු දුව විසින් පූජා කල කිරි පිඩු පූජාව ගැන බෞද්ධ අපි කුඩා කලදී ඉගෙන ගන්නවා.ඒත්  එම පූජාව අදටත් සමහර පන්සල් වල සිදුකරන බව ඔබ දන්නවාද?  මමත් මේ ගැන දැන ගත්තේ මීට දින කිහිපයකට කලින්ය.අද පොසොන් පොහොය දවසේ උදේ මේ කිරි පිඩු පූජාව මගේ ආච්චිගේ මූලිකත්වයෙන් සකස් කරලා පන්සලට පූජා කලා.

මේ පූජාවට සාදන කිරිබත් සාමාන්‍ය කිරිබත් නෙවේ. එයටම විශේෂ කිරිබතක් තියෙනවා.ඒක හදන්නේ මෙහෙමයි.ගල්, වැලි, වී සම්පූර්නයෙන් ඉවත් කරපු සුදු හාල් තැඹිලි වතුරෙන් සෝදා ගන්නවා. මෙහිදි අපි සාමන්‍යෙන් වතුරෙන් සෝදනවා වෙනුවට තැඹිලි වතුරෙන් සෝදා ගන්නවා.

ඊට පස්සේ සුදු වියනක් ගහපු මඩුවක් ඇතුලේ සඳුන් දර වලින් හදපු ලිපක කිරිබත පිස ගන්නවා. මෙය පිසින අය අනිවාර්යෙන්ම සුදු රෙදි කඩකින් කට ආවරණය කරලා තියෙන්න ඕනේ.අන්තිමට කිරිබත් වලට කජු, වියලි මිදි වගේ ඒවා එකතු කරනවා.

මෙහෙම හදපු කිරිබත් පාත්‍ර 33කට දාලා නෙළුම් මලක් එක්ක සුදු කුඩ යටින් පන්සලට පෙරහැරින් ගෙන ගිහින් අටවිසි බුදුවරුන්ටත් බෝමළුවටත් පූජා කරනවා.

මේ පූජාව නිසා ගොඩක් පින් ‍රැස් කර ගන්න පුළුවන්. මෙවැනි පූජාවක් ඔයාලත් කරන්න කැමති නම් මේ විස්තරේ ප්‍රයෝජවත් වේවි කියලා මං හිතනවා