Saturday, July 21, 2012

ලාවා කේක් කන්න කැමතිද?

මාව Twitter එකේ follow කරන අය නම් දන්නවා මට ලාවා කේක් ගැන තියෙන අමුතුම ආසාව. ඒවා කන්නයි, හදන්නයි ලැබෙන කොට මට පුදුම සතුටක් දැනෙන්නේ. හැබැයි හරියට ලාවා ආවේ නැතිවුනාම නම් ඉතින් තරහෙන්  පුපුරනවා. කොහොමත් ලාවා කේක් විතරක් නෙමේ, මම කෑම හදන්න හරිම කැමතියි. හැබැයි ඉතින් මට හිතුන වෙලාවට විතරයි. මම ගිය සතියේ ලාවා කේක් හැදුවා කාලෙකට පස්සේ. හැබැයි එකේ ලාවා තිබුනේ නෑ. ඒ මම වැඩිපුර වෙලාවක් බේක් කරපු හන්දා.හැබයි ඊයේ හදපු එකනම් ගානට නියමෙට ආවා.ඒත් මට කන්න උනේ කේක් දෙකයි.මොකද අපේ නංගි මටත් හොරෙන් ඉතිරි ටික කාලා.  :(
මම කියන්නම් මට ලාවා කේක් ගැන ආසාව ඇතිවුනේ මොකද කියලා. ඔයාලට මතකද ඒ දවස් වල ටීවී එකේ පීසා හට් එකේ ඇඩ් එකක් ගියා ලාවා කේක් ගැන. ඒක දකින දකින හැම වෙලාවෙම මට පුදුම ආසවක් හිතුනේ ලාවා කේක් කන්න. ඒත් අපේ තාත්තා පීසා හට් එක පලාතෙවත් යන පාටක් තිබ්බේ නෑ. ඉතින් මම ඔහොම දුකෙන් කල් ගෙවද්දි මට නිකමට වගේ හිතුනා youtube එක පැත්තේන් ලාවා කේක් හදන එක හොයාගන්න. අන්තිමට මට හොඳම video recipe එක හම්බවුනා. ඊට පස්සෙ මම සාර්ථක විදිහට දෙපාරක් හැදුවා. එත් ගිය සතියේ හදපු එක නම් වෙලාව වැඩියෙන් තියෙලා වැඩේ අවුල් කර ගත්තා. ඒත් ඉතින් ඊයේ හදපු එක සාර්ථක වුන නිසා මට හිතුනා ඔයාලත් එක්ක ලාවා කේක් හදන හැටි බෙදා ගන්න.

මේක හදන්න ඕන කරන්නේ මේ දේවල් (ලාවා කේක් 6ක් සඳහා)


කුකින් චොක්ලට් ( මේවා සුපර් මාකට් වල තියෙනවා. කුකින් චොක්ලට් වල ඩාර්ක් චොක්ලට් වඩා හොඳයි)
සීනි කෝප්ප 2/3
පිටි කෝප්ප 1/2
බේකින් පවුඩර් තේ හැඳි 1
බිත්තර 2 
බටර් අවුන්ස 4
ම‍ෆින් ට්‍රේ හෝ අවන් එකට දාන්න පුලුවන් පුංචි කෝප්ප

සාදන ක්‍රමය

මුලින්ම බිත්තර 2 හා සීනි කෝප්ප 2/3 හොඳින් දියකර ගන්නවා. මේ අතරේ කුකින් චොක්ලට් කැබලි 4ක් පමණ සාස්පානක් හෝ තැටියක් මතට දමා ගන්නවා. ඊට පස්සේ ඒ සාස්පාන හෝ තැටිය වතුර පුරවපු භාජනයක් උඩ තියලා රත් කර ගන්නවා.මේ ක්‍රමයට ඩබල් බොයිල් ක්‍රමය කියලා කියෙනවා. චොක්ලට් සම්පූර්නයෙන්ම දියවුනාට පස්සේ ලිප නිවලා සාස්පාන හෝ තැටිය ඉවතට අරන් ඒකට බටර් එකතු කරනවා. එතකොට චොක්ලට් වල රස්නෙන් බටර් චොක්ලට් එක්ක දියවෙනවා.ඉන් පස්සේ මේ චොක්ලට් බටර් මිශ්‍රනයේ රස්නේ අඩුවුනාට පස්සේ බිත්තර හා සීනි මිශ්‍රනයට එකතු කරගන්නවා. මේකටම පිටි හා බේකින් පවුඩර් එකතු කරනවා.මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරලා බටර් ගාගත් ම‍ෆින් ට්‍රේ එකේ ටින් වලට 3/4 වන ලෙස මිශ්‍රනය එකතු කරලා විනාඩි 10ක් කලින් රත් කර ගත් අවන් එකේ උශ්නත්වය 160°C විනාඩි 10ක් පමණ බේක් කර ගන්න.

මේ මං ඊයේ හදපු ලාවා කේක් එකක්


ප:ලි- අපේ තාත්තා ලාවා කේක් අරන් දුන්නා පස්සේ කාලෙක. පීසා හට් එකේ ලාවා කේක් වගේම තමයි ගෙදර හදපු ඒවත් කියලා මට තේරුනා. :)

ප.ප.ලි: Original Recipe එක http://www.youtube.com/watch?v=JxjQEk9kRuw

Thursday, July 19, 2012

ෆැන්ටසි ලෝකයට අපි කැමති ඇයි?


ෆැන්ටසිය ඒ කියන්නේ සිතෙන් මවාගත් දේවල් වලට ඇයි මිනිසුන්  ප්‍රිය කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. මොකද මමත් ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සාමන්‍යයෙන් මිනිස්සු වෙන කෙනෙක් නිර්මාණය කරන ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සමහරු තමන්ගේම ෆැන්ටසි ලෝකයක් මවාගෙන ඉන්නවා. මිනිස්සු ෆැන්ටසි දේවල් වලට කැමති ඔවුන්ගේ හිතේ තියෙන සමහර ආසාවන් ඉ‍ටුකරගන්න සැබෑ ලෝකෙදී තිබෙන අපහසු කම නිසයි. තව හේතුවක් තමයි මේ තරඟකාරි ලෝකයෙන් මොහොතකට මිදෙන්න අවස්ථාවක් ෆැන්ටසි ලෝකයකින් ලැබෙන නිසා. ෆැන්ටසි ලෝකය මූලිකවම කතාවක්. ඒක පොතක කතාවක් වෙන්න පුලුවන්, චිත්‍රපටියක් වෙන්න පුලුවන්,එහෙම නැත්තම් තමන්ගේම හීනයක් වෙන්නත් පුලුවන්. සමහරු තර්ක කරන්න පුලුවන් මේ ෆැන්ටසි දේවල් මිනිස්සුන් ගේ මනස විකෘති කරනවා කියලා. ඒත් මොහොතක් හිතන්න, මේ ලෝකේ වැඩිම ආදයම් ලබන චිත්‍රපටි, කතාපොත් මොනවද? ඒ ඔක්කොම කවුරු හරි නිර්මානය කරපු ෆැන්ටසි දේවල්. හැරී පොටර් හා මායා ලෝකයේ ඉඳලා ට්වයිලයිට් හි වැම්පයර්වරු ඔක්කොම ෆැන්ටසි දේවල්. මේ දේවල් මේ තාක්ශනයත් එක්ක ගොඩනැගුනු දේවල් නෙමේ. ආදි කාලේ ඉඳන්ම මිනිස්සු ෆැන්ටසි දේවල් වලට ආසකරනවා. ඒක නිසා තමයි, සමහර පුරාවෘත, මකරු , යුනිකෝන් වගේ මායා සතුන්ට මිනිස්සු තාමත් ආසා කරන්නේ.  
මේ ගැන ඔයාලගේ මතය දැන ගන්න මම කැමතියි

Wednesday, July 11, 2012

ආදරණීය සීයේ

අද ජූලි 11 වනදාය. 2006 අද වගේ දවසක මගේ සීයා ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා මෙලොවින් සමුගත්තා. සීයා මිය යනකොට වයස අවුරුදු 77 යි. සීයාට ලෙඩකට කියලා තිබුනෙත් ආතරයිටිස් විතරයි.අපේ සීයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම අරන් ඒ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න අවස්ථාව තිබ්බත් සීයා ගෙදර හැමෝගෙම අකමැත්තෙන් සීයාගේම ඥාති පුතෙක්ගේ තැනක වැඩකලා.සීයා හිටියේ පුංචි එක්ක වුනත් සීයා තමන්ගේ දරුවන් කවදාවත් බරක් වුනේ නෑ.සීයා හැම මාසේම පඩි දවසට සීයාගේ හැම මුනුපුරු මිනිබිරියන්ට මොනාවා හරි අරගෙන බලන්න එනවා.සීයා නැතිවෙද්දි මම හිටියේ 9 වසරේ.
එදා හවස සීයා අපේ ගෙදර ආවා මටයි නංගිටයි කන්න බිස්ක‍ටුයි පලතුරුයි අරගෙන. අපිත් එක්ක කතා කර කර ඉඳලා 6 ට විතර අපේ ගෙදරින් පිටත් වුනා. මට තාම මතකයි එදා ලංකාව ප්ලේ කරන ක්‍රිකට් මැච් එකක් අපි ටීවී එකේ බල බල හිටියේ. සීයා යන්න කලින් මිදුලෙදී මැච් එකේ ස්කොර් එකත් මගෙන් ඇහුවා. ඒත් ඒ මම සීයත් එක්ක කතා කරපු අන්තිම වචන ටික කියලා ඒ වෙලාවේ හිතුන නම්......
කොහොම හරි එදා රෑ 7.30ට විතර චූටි මාමා ඒ කියන්නේ අපේ අම්මගේ චූටි මල්ලි කෝල් කරලා කිව්වා සීයා තාම ගෙදර ගිහින් නෑ කියලා. ඒ වෙලාවේ හැමෝම හිතුවේ සීයාට බස් එකේදි නින්ද ගිහින් හරි වැරදි බස් එකක නැගලා නිසා පරක්කු කියලා. ඒත් චූටි මාමා කඩුවෙල හංදියට ගියා සීයාව හොයන්න. අන්තිමට චූටි මාමා හොයලා හොයලා බැරිම තරම ගෙදර ඇවිත් අපිට කෝල් කලා. ඊට පස්සේ අපේ තාත්තාත් ගියා කඩුවෙල පුංචිලාගේ ගෙදර කට්ටිය එක්ක සීයාව හොයන්න යන්න. එදා දවසේ මම දැන ගත්තේ ඔච්චරයි. මමත් නිදා ගත්තා ඊට පස්සේ දවසේ ඉස්කෝලේ යන්න ඕන නිසා.ඒත් මොකක් නිසාද මම දන්නේ නෑ මට හිතුනෙම සීයා අපිව දාලා මේ ලෝකෙන්  ගිහින් කියලයි. කොහොම හරි මම ඊලඟ දවසේ උදේ නැගිටලා සාලේට එද්දි දැක්කේ පඩි පෙල උඩ ඉඳන් අපේ අම්මා අඬනවා. මම නිදිමතේ ආපු නිසා මම හිතුවේ මට විකාර පේනවා කියලයි. ඊට පස්සේ මූණ හෝදලා කන්න එද්දි තමයි මට හරියටම තේරුනා මොකක් හරි වෙලා කියලා.අම්මවත් තාත්තවත් මාත් එක්ක කතා කලේ නෑ. මම සීයාට මොකද වුනේ කියලා දැන ගත්තේ අපිත් එක්ක හිටපු සුදු ආච්චිගෙන්. (සුදු ආච්චි කියන්නේ අපේ අම්මගේ පුංචි කෙනෙක්) සීයා නැතිවුනා කියලා සුදු ආච්චි කිව්වා.
ඒත් ඒක කොහොමද වුනේ කියලා ඇහුවම, ලැබුන උත්තරේ මම කවදාවත් අහන්න හිතපු දෙයක් නෙමේ. සීයා නැතිවෙලා තියෙන්නේ ලොරියකට හැප්පිලා.සීයා බස් එකෙන් බැහලා ටික දුරක් ඇවිද ගෙන යද්දි පිටිපස්සේන් ආපු ලොරියක් සීයාවත් යට කරගෙන ගිහින් තියෙනවා.ඒ ලොරිය සීයාව හප්පන්න කලින් බයික් එකකුත් හප්පගෙනම තමයි ඇවිත් තියෙන්නේ. පොලිසියෙන් ලොරියේ ඩ්‍රයිවර් ව අල්ලා ගත්තත් හොඳට හිටපු අපේ සීයා ආපහු එන්නේ නෑ. ඒත් මම ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට මේවගේ විපතක් වෙන්න එපා කියලයි.
මට තාම මතකයි සීයාගේ මරණ ගෙදරට ආපු හැමෝම කිව්වේ සීයාගේ වයසේ කෙනෙක් වයසට ගිහින් හරි ලෙඩක් දුකක් හැදිලා මේ ලෝකෙන් යද්දි අපේ සීයා මේ විදිහට හදිසි අනතුරකින් අපිව දාලා ගියපු එක වාවන්නේ නෑ කියලා.

ඉතිරි සල්ලි දෙන්නේ නැත්තේ ඇයි?



මම මේ කතාව ලියන්න හිතුනේ මම ඊයේ ඉස්කෝලෙට චරිත සහතිකේ වැඩ වගයකට ගියපු වෙලාවේ බුක්ශොප් එකේදි වුන දෙයක් නිසායි.
ඉතිරි සල්ලි කියන වචනේ ඇහුව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ බස් වල කොන්දොස්තරලයි. ඒත් මම කතා කරන්න යන්නේ මූලිකවම ඒ අය ගැන නෙමෙයි.
මේ අත්දැකීම මම ඉස්කෝලේ යන කාලය පුරාම අත් වින්ද දෙයක්.  මම මුලින් ගියපු ඉස්කෝලෙත් ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලෙත් තිබුන කැන්ටින් එකෙත් , කැෆේ එකෙත් , බුක් ශොප් එකෙත් මොනව හරි සල්ලි වලට ගත්තහම ඉතිරි සල්ලි කාසි වලින් දෙන්න ඕන ගානක් නම් කාසි වෙනුවට හම්බ වුනේ ටො‍ෆි (දැන් නම් මෙන්ටොසුත් දෙනවා ). මම මුලින් ටො‍ෆි කන්න කැමති වුනත් පස්සේ ටො‍ෆි කන එකත් එපා වුනේ මේ ඉතිරි සල්ලි වෙනුවට ටො‍ෆි හම්බ වෙනවා වැඩි නිසයි. 
මට තාම මතකයි දවසක් ඉස්කෝලේ කැටේකට දාන්න සල්ලි දාන්න රුපියල් දහයක් මාරු කරගන්න පන්ති වටේ රවුන් ගහපු හැටි. මොකද අපේ පර්ස් වල කාසි වෙනුවට ටො‍ෆි නේ තිබුනේ. මුලින් ගියපු ඉස්කෝලෙදි සමහර වෙලාවට තරහ ගිහිල්ලා කැන්ටිමේ ඇන්ටිලා/අක්කලා එක්ක ඉතිරි සල්ලි කාසි වලින් දෙන්න කියලා යාලුවෝ එක්ක එකතු වෙලා රණ්ඩු වෙලාත් තියෙනවා. ඒත් වැඩක් වෙලා නෑ. 
මම ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලේ බුක් ශොප් එකේ කන දේවලුත් විකුනපු නිසා තමයි අපිට ඉතිරි සල්ලි වෙනුවට ටො‍ෆි හම්බ වුනේ. ඒත් මම මුලින් ගියපු ඉස්කෝලෙ බුක් ශොප් එකේ එහෙම නැති නිසා දවසක් ඉතිරි රුපියල් පහ වෙනුවට මකනයක් හම්බ වුනා. (ඒක නම් නරක දෙයක් නෙමෙයි) ☺
මේ ටො‍ෆි නිසා වෙච්ච අනික් අවාසිය තමයි අපි බස් එකේ පන්ති යද්දි බස් එකට ගානට සල්ලි දෙන්න බැරිවෙනවා. මොකද සමහර බස් වල ඉතිරි සල්ලි ලැබෙන්නේ නෑනෙ. ඒ වෙනුවට මොකුත්ම ලැබෙන්නේත් නෑනේ.

Monday, June 25, 2012

Z ස්කොර් නිසා වෙච්ච දේ


අද උදේ අහන්න ලැබුනු නරක ආරංචියක් නිසා තමයි මම මේ හදිස්සියෙන්ම මේක ලියන්න  හිතුවේ. නැත්තන් එකම දවස පෝස්ට් දෙකක් දාන්නේ නෑනේ. කොහොම හරි අද උදේ නඩු තීන්දුවක් දීලා තියෙනවා අපේ Z ස්කොර් එක ආපහු වෙනස් කරන්න කියලා. මමත් කරුමෙට ගිය අවුරුද්දේ තමයි ඒ ලෙවල් කලේ.මදැයි කැම්පස් යන්න බලන් හිටියා. තිබ්බ ස්කොර් එකටත් වඩා අඩු ස්කෝර් එකක් එව්වොත් එහෙම මම ඉඳලා ඉවරයි. මොකද දෙපාරක් ඒ ලෙවල් කරන්න බෑ කියලා ගෙදර අයට කිව්ව නිසා.එත් ඔය එවන Z ස්කොර් එක ඉක්මනට එව්වොත් තමයි හොඳ. මොකද මම ගෙදරට වෙලා මොකුත් නොකර අවුරුද්දක්ම වේලි වේලි හිටියා.ඒ කිව්වට මොකුත්ම නොකර හිටියේ නෑ. ඒත් තව මොනාහරි ඉගෙන ගන්න තිබුනා. මොකද තාමත් සතියේ දවස් හයක්ම ගෙදරනේ.
කරුමේ කියන්නේ අපේ බැච් එකේ කට්ටියමනේ අර ඕ ලෙවල් ගණන් පේපර් එකත් දෙපාරක්ම ලිව්වේ. 1992 ඉපදිලා අලුත් විශය නිර්දේශ වලින් විභාග ලියන්න කාපු කට්ට මතක් වෙද්දි දැන් හිතෙනවා මම තව මාස 3ක් පරක්කු වෙලා ඉපදුනා නම් හොඳයි කියලා.

මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?

මාතෘකාව දැක්ක ගමන් මම  මගේ ප්‍රථම ප්‍රේමය ගැන කතාවක් කියන්න යන්නේ කියලා කට්ටිය හිතෙනවා ඇති. ඒත් එක එහෙම නෙමේ. එහෙම කියලා මේක කියවන්නේ නැතුව ඉන්න එපා.
මම අද හිතුවා මම කැමතිම හින්දි සිංදුව සිංහලට පරිවර්තනය කරන්න. මේ සින්දුව කබි කුශි කබි ගම් (තේරුම: වෙලාවකට සතුට වෙලාවකට දුක) කියන චිත්‍රපටියේ මම ගොඩක් ආදරේ කරන ෂාරුක් ඛාන් හා කාජල් ඉන්න "සුරජ් හුවා මාද්දම්" සිංදුවයි. මේ සිංදුව කියන්නේ ලඟදි ලංකාවට ආපු සෝනු නිගම් හා අල්කා යාග්නික්.
ඒත් මම මේ සින්දුවට කොච්චර කැමති වුනත් සිංහලට පරිවර්තනය කරද්දි මට හිතුනා මේකේ පද රචනය කොච්චර බොලඳද කියලා. කියවලාම බලන්නකෝ........


හිරු මුදුන් වුයේය. සඳ දැවෙන්නට පටන් ගත්තේය.
කිමද මේ අහස උණුසුම් වෙන්නේ? 
මා බලා සිටියාය.එහෙත් පොලව ගමන් ගන්නට පටන් ගත්තේය.
මේ හදවත චංචල වුවේය. මගේ සුසුම නැවතුනේය.
මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද? 
සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


මෙය සුන්දර මොහොතකි. එනමුත් සෑමදේම වෙනස් වන්නේය.
සිහින සැබෑ වන්නට පටන් ගන්නේය.
අපේ මේ බැඳීම වසර සිය ගණනක් පැරණිද? 
ඒ නිසා නේද මා ඔබව මෙලෙස හමු වන්නේ
මේ ආදරයේ ඍතුව මෙලෙසම පවතින්නේය
ජන්මයක් ජන්මයක් පාසාම මාවම මෙලෙස හමුවන්න


මා බලා සිටියාය.එහෙත් පොලව ගමන් ගන්නට පටන් ගත්තේය.
මේ හදවත චංචල වුවේය. මගේ සුසුම නැවතුනේය
මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද? 
සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


ඔබේ ඔය ප්‍රභාවෙන් මාව වර්ණවත් කරන්න, සොඳුරිය
ඔබව හිමිවීමෙන් මට මාවම අහිමි වන්නේය, සොඳුරිය
ඔබේ ආදරයේ  කිමිදී 
මා වෙරළක් බඳු වන්නේය සොඳුරියේ. 


මේ  සාගරය පිපාසිත වන්නේය. රාත්‍රිය උදා වන්නේය.
හදෙහිද ගිනිදැල් වලින් ගිනිපුපුරු විසිවන්නේය.


සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


හිරු මුදුන් වුයේය. සඳ දැවෙන්නට පටන් ගත්තේය.
කිමද මේ අහස උණුසුම් වෙන්නේ? 


සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


ප.ලි: මම ලියපු විදිහේ අවුලක් නිසා තේරුම බොලඳ වුනාද දන්නේ නෑ...

ප.ප.ලි: ඔය මොකක් වුනත් සිංදුව ලස්සනයි. කලින් බලලා නැත්තම් සිංදුව මෙතනින් බලලම යන්න.

Tuesday, June 19, 2012

රුපියල් 150

මේ සිද්ධිය වුනේ මම O/L කරන අවුරුද්දේ මම ගියපු ටියුශන් පන්තියේදියි. මේක ටියුශන් පන්තියක්ම නෙමේ , ඉන්ස්ට්‍රිටියුට් එකක්. මම එකේ විශයන් 4 කට පන්ති ගියා. ඒ ඔක්කොම පන්ති මම ගියේ සෙනසුරාදා විතරයි. සුමුදු නංගිත් ආවේ ටියුශන් වලට මේ ඉන්ස්ට්‍රිටියුට් එකටමයි. ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදුම තමයි ) 
සෙනසුරාදා මට කොමස් පන්ති තිබුන වෙලාවට සුමුදු නංගිටත් පන්තියක් තිබ්බා ඒ ඉන්ස්ට්‍රිටියුට් එකේම. මේ කාලේ සුමුදු නංගි නවය වසරේ ඉගෙන ගත්තේ. එයත් එක්කම එයාගේ හොඳම යාලුවෝ දෙන්නෙකුත් පන්ති ආවා. මමයි , මගේ යාලුවයි ( ජනප්‍රිය කෙනා කතාවේ මාත් එක්ක හිටපු යාලුවාම තමයි) සුමුදුයි , එයාගේ යාලුවෝ දෙන්නයි ඉන්ටවල් එකේදි අපේ කොමස් පන්තිය ඉස්සරහ කොරිඩොර් එකේ හම්බ වෙනවා.
මේ කාලේම සුමුදු නංගිට ඒ ඉන්ස්ට්‍රිටියුට් එකටම එන පිරිමි ළමයෙක්ට හිත ගිහිල්ලා තිබුනේ. සුමුදු නංගි මට ඒ පිරිමි ළමයව පෙන්නුවා ඉන්ටවල් එකේදී. ඒ ළමයා කවුද මොන ඉස්කොලේද කීය වසරේද කියලා කිසිම දෙයක් අපි දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ හින්දා සුමුදු නංගි හරිම සෑඩ් මූඩ් එකේ හිටියේ. මේ පිරිමි ළමයාගේ විස්තර හොයන්න අපි පුලුවන් තරම් උත්සහ කලා. ඒ උත්සහයේ ප්‍රතිපලයක් විදිහට අපිට දැනගන්න ලැබුනේ එයා මගේ වයසේ කියලා විතරයි. කොහොම හරි තව විස්තර දැනගන්න ඕනේ නිසා අපි කට්ටියම මේ පිරිමි ළමයා ගැන සොදිසියෙන් හිටියේ . ඔහොම සෝදිසියෙන් ඉන්ඳැද්දි අපි දැක්කා මගේ පන්ති 3කටම එන නවින් කියන පිරිමි ලමයා එක්ක සුමුදු කැමති එක්කෙනා කතා කරනවා. ඉතින් අපි තීරනය කලා නවින් ගෙන් සුමුදු කැමති එක්කෙනා ගැන විස්තර අහන්න.
 නවින් ක්ලාස් එකේ ඉන්න ඔක්කොම ලමයි එක්ක ‍ෆිට්. නවින් හොඳ තැන්පත් ලමයෙක් කියලා තමයි ප්‍රසිද්ධ. ඊට පස්සේ අපි නවින්ගෙන් ඇහුවා.මෙන්න නවින් අපිට කිව්වනේ වැඩේ නිකන් කරන්න බෑ කියලා. අපි ඇහුවේ අරයගේ නමයි, ඉස්කෝලේයි වගේ විස්තර විතරයි. ඒත් නවින් අපෙන් සල්ලි කඩා ගන්න හදනවා. එක දවසින් ඕනේ නිසා අපි කන්න ගෙනාපු සල්ලි වලින් රුපියල් 150ක් දුන්නා. අන්තිමට මේයා නමයි ඉස්කෝලේයි කිව්වා.
ඒත් නවින් ඒ නමේ අකුරක් වැඩියෙන් දාලා කියලා තියෙන්නේ කියලා පස්සේ අපි දැනගත්තේ.... 
අයියෝ සල්ලි!

Wednesday, June 13, 2012

මංගල බණට ආරාධනය

මේ වැඩේ වුනේ මීට දින කිහිපයකට කලින් මං දන්න කෙනෙක්ට. කෙනා කවුද කියන එක කියන්නේ නැතුව මේ කතාව කියන්නම්.
සාමන්‍යයෙන් ලංකාවේ (සමහර) පිරිමි ලමයි වැඩිපුරම ඉන්න තැන් දෙකක් තමයි ෆේස්බුක් හා පන්සල.
ඒ වගේම තමයි පන්සල් වල වැඩ වාසය කරන පොඩි හාමුදුරුවරු පන්සලට දහම් පාසලට එන සම වයස් වල පිරිමි ලමයි එක්ක කතාබහ කරනවා කියන එකත් හැමෝම දන්නවා ඇතිනේ.
ඉතින් එක පන්සලක ඉන්න උපසම්පදා නොවුන තරුණ හාමුදුරු නමක් මම දන්න මල්ලි කෙනක්ව අඳුරනවා. මේ ලඟදී දවසක මේ මල්ලිට ෆේස්බුක් රික්වෙස්ට් එකක් මේ හාමුදුරුවන් එවලා තියෙනවා. මල්ලිත් පුදුම වුනාලු ඒක දැකලා. ඉතින් මල්ලිත් ඕන එකක් කියලා ඇක්සෙප්ට් කරාලු.
 ඉතින් ඔහොම යද්දි හාමුදුරුවෝ මේ මල්ලිත් එක්ක චැට් කරන්නත් ගත්තලු. ඉතින් මේ ඊයේ පෙරේදා දවසක හාමුදුරුවෝ චැට් කරන ගමන් මේ මල්ලිට පන්සලේ බුදු පිලිම ශුද්ධ පවිත්‍ර කරන්නයි ඒ හාමුදුරුවන්ගේ මංගල බණටයි එන්න කිව්වලු. 
මේ කතාව ඇහුව ගමන් හිතුනේ මට ලංකාවේ සන්නිවේදනේ දියුණුව වැඩි වෙලා තියෙන තරම තමයි. :P


ප.ලි: මංගල බණ කියන්නේ සාමනේර හාමුදුරු නමක් උපසම්පදා උනාට පස්සේ කියන පලවෙනි බණයි

Monday, June 4, 2012

ප්‍රති ප්‍රහාරය

මම අද කියන්න යන කතාව සමහර අයට විට හිනා යන එකක් වෙන්න පුලුවන්. ඒත් මේ කතාවෙන් ගොඩක් අයට යම් කිසි පාඩමක් ඉගන ගන්න පුලුවන් කියලා මම විස්වාස කරනවා. මේ කතාව මම ඩයරියේ ලියලා තිබ්බේ නැතත් මේ සිද්ධිය වුනේත් මම නවය වසරේ ඉන්ඳැද්දි. (මට මතක විදිහට)
මමයි සුමුදුයි ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදු ම තමයි ) ඉස්සර වෑන් එකෙන් බැහැලා ගෙදර එන්නේ එකට. අපිට ටික දුරක් පාරේ තනියෙන් ඇවිදගෙන එන්න ඕනේ. මෙහෙම ඇවිදගෙන ආපු එක දවසක් ස්කූල් වෑන් එකක් පාරේ යනගමන් අපි ලඟින් වේගේ අඩුකරගෙන ගියා. අපි ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ. (මේ පාර ප්‍රධාන පාරක් එහෙම නෙමේයි. ගෙවල් විතරක් තියෙන පොඩි අතුරු පාරක්)
මේවගේ කිහිප දවසක් ඔය වෑන් එක ඔහොම කලා. අපිත් මොකුත් කිව්වේ නෑ. ඊට පස්සෙ එක දවසක්  මේ වෑන් එකේ ඩ්‍රයිවර් අපිට මොකද්ද කිව්වා. ඒ කියපු එක හරියට ඇහුනෙ නෑ. එදායින් පස්සේ අපි මේ වෑන් එක ගැන සොදිසියෙන් හිටියේ. ඔය වෑන් එකේ ඩ්‍රයිවර් තරුණ කෙනෙක් නම් නෙමේ.මැදි වයසේ කෙනෙක්. ඒ වගේම ඔය වෑන් එක අපි ලඟින් යද්දි වෑන් එක ඇතුලේ ගොඩක් ලමයිනුත් නෑ. මේක නිසා අපි ටිකක් බයවුනා. දන්නවනේ අද කාලේ මිනිස්සුන්ගේ හැටි?
ඊට පස්සෙ අපි මේ වෑන් එක මඟ හරින්න උත්සහ කලා. මේ වැඩේ හැබැයි අපිට කරන්න ලැබුනේ ටික දවසයි. අපි සුපුරුදු විදිහට ඇවිදගන යද්දි වෑන් එක පස්සේන් ආවා. අපි ගෙවල් වල කිට්‍ටු කරලා තිබුනේ නැති නිසා එතනින් දුවන්න විදිහක් තිබ්බේත් නෑ. ඉතින් ඔය වෑන් එක අපි ලඟට  කිට්‍ටු කරලා එකේ ඩ්‍රයිවර් අපිට ජම්බු වගයක් දික් කලා. අපි ඉතින් වේගේ වැඩි කරලා හයියෙන් ඇවිදගෙන යන්න ගත්තා. ඊට පස්සේ වැන් එක අපිව පහු කරන් යද්දි මොකද්දෝ කියාගෙන ගියා. අපිට ඒ කියපු එක තේරුනේ නෑ. කොහොම හරි ඔයිට පස්සේ දවසක සුමුදු දැකලා තියෙනවා  අපේ ස්කූල් වෑන් එක යන මාදින්නාගොඩ පාරට ඔය වෑන් එක ඒ පාරේ තියෙන වෙන අතුරු පාරක ඉඳන් එලියට එනවා. ඊට පස්සේ අපි නෝට් කලා හරියටම අපේ ස්කූල් වෑන් එක යන වෙලාවට වගේම ඒ වැන් එක අපිට හම්බ වෙනවා.
ඔහොම කොහොම හරි ඊට පස්සේ වාර අවසානේ ඉස්කොලේ නිවාඩු දෙන දවසට අපේ වෑන් එක කට්ටිය පාටියක් ලැස්ති කලා. ඉතින් පාටියක් කිව්වට අපි කරන්නේ මෙගා බීම බෝතල් ගෙනල්ලා එවායේ බීම බෙදා හදාගෙන බීලා ඉතුරු වෙන හිස් බෝතල් වලට වතුර පුරෝලා අපිට වතුර ගහන අයට ප්‍රති ප්‍රහාර එල්ල කරන එකයි. හික් හික් 
කොහොම හරි නිවාඩු දෙන දවසේ ඔහොම විනෝද වෙවී යද්දි අපි කට්ටිය දැක්කා අර වෑන් එක කලින් කිව්ව තැනදී. දැකපු ගමන් කලබල වෙලා මමයි සුමුදුයි කලේ මොකද්ද දන්නවද? අපි බීම බෝතලයක් ඉස්සරහ ඉඳන් හිටපු මල්ලි කෙනෙක්ට දුන්නා අර ඩ්‍රයිවර් ගේ මූණටම ගහන්න කියලා.  ඉතින් මල්ලියත් වැඩේ හරියටම කලා. එවෙලෙ අර ඩ්‍රයිවර්ගේ මූණ මතක් වෙද්දි තාමත් හිනා යනවා. එත් වැඩේ කියන්නේ මමයි සුමුදුයි මල්ලිට දීලා තියෙන්නේ වතුර පුරෝපු බෝතලයක් නෙමෙයි. බාගේට ඉතිරි වෙලා තිබ්බ ජින්ජර් බියර් බෝතලයක්. ඒක අපිට තේරුනේ අර මල්ලි කිව්වට පස්සේ... 
හැබැයි ඒ නිවාඩු දෙන දවස තමයි අපි ඒ ඩ්‍රයිවර් ගේ මූන දැක්ක අන්තිම දවස. ඊට පස්සේ ඒ වැන් එක එලෙව්වේ වෙන ඩ්‍රයිවර් කෙනෙක්. .... 

කිරි පිඩු දානය

එදා අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නට කලින් සුජාතා සි‍ටු දුව විසින් පූජා කල කිරි පිඩු පූජාව ගැන බෞද්ධ අපි කුඩා කලදී ඉගෙන ගන්නවා.ඒත්  එම පූජාව අදටත් සමහර පන්සල් වල සිදුකරන බව ඔබ දන්නවාද?  මමත් මේ ගැන දැන ගත්තේ මීට දින කිහිපයකට කලින්ය.අද පොසොන් පොහොය දවසේ උදේ මේ කිරි පිඩු පූජාව මගේ ආච්චිගේ මූලිකත්වයෙන් සකස් කරලා පන්සලට පූජා කලා.

මේ පූජාවට සාදන කිරිබත් සාමාන්‍ය කිරිබත් නෙවේ. එයටම විශේෂ කිරිබතක් තියෙනවා.ඒක හදන්නේ මෙහෙමයි.ගල්, වැලි, වී සම්පූර්නයෙන් ඉවත් කරපු සුදු හාල් තැඹිලි වතුරෙන් සෝදා ගන්නවා. මෙහිදි අපි සාමන්‍යෙන් වතුරෙන් සෝදනවා වෙනුවට තැඹිලි වතුරෙන් සෝදා ගන්නවා.

ඊට පස්සේ සුදු වියනක් ගහපු මඩුවක් ඇතුලේ සඳුන් දර වලින් හදපු ලිපක කිරිබත පිස ගන්නවා. මෙය පිසින අය අනිවාර්යෙන්ම සුදු රෙදි කඩකින් කට ආවරණය කරලා තියෙන්න ඕනේ.අන්තිමට කිරිබත් වලට කජු, වියලි මිදි වගේ ඒවා එකතු කරනවා.

මෙහෙම හදපු කිරිබත් පාත්‍ර 33කට දාලා නෙළුම් මලක් එක්ක සුදු කුඩ යටින් පන්සලට පෙරහැරින් ගෙන ගිහින් අටවිසි බුදුවරුන්ටත් බෝමළුවටත් පූජා කරනවා.

මේ පූජාව නිසා ගොඩක් පින් ‍රැස් කර ගන්න පුළුවන්. මෙවැනි පූජාවක් ඔයාලත් කරන්න කැමති නම් මේ විස්තරේ ප්‍රයෝජවත් වේවි කියලා මං හිතනවා